kurunegala-kidney-deaths
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් හදිසියේම මරණයට පත්වීමට හේතුව ප්‍රතිකාර සඳහා ලබාදෙන රසායනිකයක බලපෑමක්දැයි යන සැකය මේ වන විට පහළ වී තිබේ.

සතියක කාලයක සිට පසුගිය සිකුරාදා දිනය වන එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පස්දෙනෙකු මරණයට පත් වීම සැලකිල්ලට ගනිමින් එම ඒකකය මුද්‍රා තබා තාවකාලිකව වසා දැමීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ බලධාරීන් පසුගිය සිකුරාදා (23දා) පියවර ගෙන තිබුණි.

මේ සඳහා බලපා ඇති හේතුව අනාවරණය කර ගැනීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබුණද, ස්ථිර හේතුවක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බවද වාර්තාවේ.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිනිගේ මහතාගේ සභාපතිත්වයෙන් හා රුධිර කාන්දුකරණය සහ රුධිරය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු හා වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ඇතුළු පස්දෙනෙකුගෙන් සමන්විත පක්ෂණ කමිටුවක් පත් කිරීමටද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පියවර ගෙන ඇත.

ඒ අනුව අදාළ කමිටුව මේ වනවිටත් කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ විශේෂඥ වෛද්‍යවරු සමග සාකච්ඡා සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.



ඒ අනුව සිද්ධිය පිළිබඳ පූර්ණ සොයා බැලීමක් සිදු කර ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදෙන ලෙස අමාත්‍යාංශය විසින් කමිටුවට දැනුම් දී තිබේ.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර නියමිත රෝගීන් කුලියාපිටියෙ, නාරම්මල, දඹදෙණිය, නිකවැරටිය සහ නිකවැව රෝහල් කරා යොමු කිරීමටද පියවර ගෙන ඇත. ඒ සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමටද අවශ්‍ය කටයුතු සලසා තිබෙන බවද වාර්තාවේ.

රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ක්‍රියාවලියේදී සිරුරේ රුධිර පට්ටිකා මට්ටම ශීඝ්‍රයෙන් පහළ බැසීමෙන් පසුව ඇතිවන සංකූලතා තත්ත්වයක් මත මෙම රෝගී මරණ සියල්ලම සිදුව ඇති බවද වාර්තාවේ.



මීට පෙර මෙවැනි අසාමාන්‍ය මරණ කිසිවක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් වාර්තා වී නොතිබූ අතර, එක්වරම දින කිහිපයක් ඇතුළත අඛණ්ඩව මෙසේ රෝගීන් පිරිසක් මරණයට පත්වීමට හේතුව පැතිර ගිය යම් විෂබීජයක්ද, නැත්නම් ප්‍රතිකාර සඳහා ලබා දෙන රසායනිකයක බලපෑමක්දැයි යන ගැටලු මේ වන විට ඇති වී තිබේ.

මෙම තත්ත්වය මත මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පැවතිය හැකි බවට අනුමාන කෙරේ.

මේ පිළිබඳව කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේ, සිදුව ඇති රෝගී මරණ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ප්‍රතිකාර ලබමින් සිටි අනෙකුත් රෝගීන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් රෝහලෙන් ඉවත් කර නිවෙස් කරා යැවීමට පියවර ගත් බවද වෛද්‍ය කැඳන්ගමුව මහතා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක්ද අද (26දා) කුරුණෑගලට පැමිණීමට නියමිත බවද වාර්තාවේ.
 ගීතාංජලී ප්‍රියදර්ශනී / නිදර්ශනී වික්‍රමසිංහ