chamari-atapattu-speaks

මෙවර 2024 ඉන්දීය ප්‍රමියර්  ලීග් හා බිග්බෑෂ්  කාන්තා ක්‍රිකට් තරගාවලින්හිදී කිසිදු කණ්ඩායමක් තමන් මුලින් තෝරා නොගැනීමෙන් පුදුමයට පත්වූ බවත්, එය තමන්ට යම් ආකාරයක ශක්තියක් වූ බවත් ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු පැවසුවාය.ඉන්දීය ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.



ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා එක්දින හා විස්සයි 20 තරග ද්විත්වයේදීම වැඩිම ලකුණුලාභී චමරි විස්සයි 20 තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී ක්‍රීඩිකාවන් අතර සිටින්නේ 11 වැනි ස්ථානයේයි. ඒ ඉනිම් 120 කදී ලකුණු 2651 ක් රැස් කරමිනි.එහිදී නායිකාවක් ලෙස ඇය එංගලන්තයට එරෙහිව එංගලන්තයේදී විස්සයි 20 තරගාවලියක් හා නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට සමත්වූවාය.නමුත් කාන්තා ප්‍රිමියර් ලීග් හා කාන්තා බිග් බෑෂ් ලීග් තරඟාවලිහිදී ඇය මුලින්ම නොසලකා හරිනු ලැබුවාය.

“ ඒකෙන් මාව කම්පනයට පත් වුණේ නෑ, මේ දේවල් මගේ පාලනයේ නෙමෙයි තියෙන්නේ. ඒවල තීරණය ගන්නේ කණ්ඩායමේ කළමනාකාරිත්වයයි. මට පාලනය කරන්න පුළුවන් එකම දේ තමයි මගේ පිතිකරණය හා පන්දු යැවීම, ඒ සඳහා මගේ උපරිමය මම කරනවා.” යැයි චමරි මෙහිදී පැවසුවාය.



බිග් බෑෂ් තරඟාවලියට අවසන් මොහොතේදී එක් වීමෙන් අනතුරුව වුවද තරඟාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූයේ එහි වැඩිම ලකුණුලාභිනිය වූ ඔස්ට්‍රේලියාවේ බෙත් මූනිට වඩා ලකුණු 5 ක් පසුපසිනි.

ප්‍රතික්ෂේප කිරීමෙන් මට දෙයක් ඉගෙන ගන්න පුළුවන්, කවුරු හරි මට මේ දේ කරන්න බෑ කිව්වොත් මට ඒක ඔප්පු කරන්නට අවශ්‍යයි.' ඇය පැවසුවාය.

මේ අතර ලොව පුරා ලීග් ක්‍රිකට් සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ චමරි පැවසුවේ ලොව පුරාම ක්‍රීඩකයන්ට එම තරග වැදගත් බවයි.

“සමහරු හිතනවා මේ ලීගවල සල්ලි නිසා අපි ක්‍රීඩා කරනවා කියලා. නමුත් ඒකම නෙමෙයි. අපේ දැනුම, සංස්කෘතිය, අනෙක් ක්‍රීඩකයන් එක්ක බෙදා ගන්න පුළුවන්. මට ලෝකයේ හොදම ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආශ්‍රය කරන්න පුළුවන්. ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගන්න වගේම මගේ දැනුමත් බෙදා ගන්න පුළුවන්,” ඇය මෙහිදි වැඩිදුරටත් පැවසුවාය.

ඕෂිත වරකපිටිය