asiri-medical-expensive-medicine

ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගත් දිනයකදීම වැඩබලන මහේස්ත්‍රාත්වරිය ආසිරි මෙඩිකල්  පෞද්ගලික රෝහලේ බලයලත් නියෝජිතවරයකු බව පවසමින් අධිකරණයේ පෙනී සිටි පුද්ගලයකුට දඩ නියම කිරීම පිළිබද පුදුමය පළකළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය මෙය කිසිසේත්ම අපේක්‍ෂා කළ නොහැකි තත්වයක් බව අවධාරණය කළාය.



ඒ බව අවධාරණය කරමින් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිල ගණන් යොදා මුදල් අයකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ආසිරි මෙඩිකල් පෞද්ගලික රෝහලක අධ්‍යක්ෂවරුන්ට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් යළි නොතිසි නිකුත් කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය අදාළ පෞද්ගලික රෝහලට එරෙහිව නඩු පැවරූ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ද, එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කළාය.

පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නොතිසි නිකුත් කර තිබියදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගත් දිනයක අදාළ පෞද්ගලික රෝහලේ බලයලත් නියෝජිතවරයකු බව පවසමින් අධිකරණයේ පෙනී සිටි පුද්ගලයකුට දඩ නියම කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරිය කටයුතු කිරීම ගැටලු සහගත බව පෙන්වා දෙමින් නීතිඥ රංජිත් හීල්ලගේ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

කිසිසේත්ම අපේක්‍ෂා නොකරන දෙයක් මෙම අධිකරණයේ සිදුවී ඇති බවක් පෙනෙන්නට ඇතත් සිදු වී ඇත්තේ කුමක්ද යන්න සලකා බැලිය යුතු යැයි සඳහන් කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය බලයලත් නියෝජිතවරයකු වන කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තාට බලය දී ඇත්තේ රෝහල වෙනුවෙන් පෙනී සිටීමට මිස එහි අධ්‍යක්‍ෂවරුන් වෙනුවෙන් පෙනී සිටීමට නොවන බව අවධාරණය කරමින් රෝහලේ අධ්‍යක්‍ෂවරුන් 10 දෙනාට යළිත් වරක් නොතිසි නිකුත් කළාය.




නුගේගොඩ හයිලෙවල් පාරේ පදිංචි සනත් කුමාර අතුකෝරල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට කළ පැමිණිල්ලකින් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආහාර ඖෂධ පරීක්ෂකවරයා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

2023 පෙබරවාරි 07 වැනිදාත් 19 වැනිදාත් අතර කාලය තුළ නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ එම උපරීම සිල්ලර මිලට වඩා වැඩි මිල ගණන් යොදා මුදල් අයකළ බවට ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 11ක් යටතේ ජාතික ඖධෂ නියාමන අධිකාරිය නඩු පවරා තිබිණි.

එම නඩුවේ සාක්කිකරුවන් වශයෙන් සමරකෝන් මුදියන්සේලාගේ මන්ත්‍රී කුමාරිහාමි මහත්මිය ඇගේ පුත්‍රයා වන සනත් කුමාර අතුකෝරල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා ඇතුළු 06 දෙනකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් මන්ත්‍රී කුමාරිහාමි මහත්මියට රෝහලෙන් නිකුත් කළ බිල්පත ඇතුළු ලේඛන 06ක් නම් කර තිබිණි.

උපරිම සිල්ලර මිලක් නියම කර ඇති ඖෂධ වර්ග අතුරින් ඖෂධ වර්ග 11ක් එම ඖෂධ අලෙවි කළ හැකි මිලට වඩා සියයට 104 සිට සියයට 357 දක්වා වූ වැඩි මිල ගණන් යොදා අලෙවි කර ඇති බව ඖෂධ නියාමන අධිකාරිය වගුවක ආකාරයෙන් අධිකරණයට පෙන්වා දී තිබිණි.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව මෙම නඩුව පැවරූ පසු ඔවුන්ට ජනවාරි 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නොතිසි නිකුත් කර තිබියදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගත් ජනවාරි මස 17 වැනිදා මෝෂමක් මාර්ගයෙන් වැඩබලන මහේස්ත්‍රාත් හිමාලි ඒකනායක මහත්මිය හමුවට අදාළ සමාගමේ බලයලත් නියෝජිතවරයකු වශයෙන් කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තා ඉදිරිපත් වී අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීමෙන් පසු ඔහුට රුපියල් 25,000 ක දඩයක් නියම කර තිබූ අතර, දඩ මුදල නොගෙවුවහොත් මාස 06ක සිරදඬුමකට ඔහු යටත් කෙරිණි.



නීතිඥ ඩිල්ෂාන් මහයාගොඩ මහතාගේ මෝෂමකට අනුව පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා විත්තිකාර පෞද්ගලික රෝහලට එරෙහිව නඩුවක් පවරා මෙම අධිකරණය හමුවට ගෙන්වා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදුවූ බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියා කටයුතු කළේ අදාළ පෞද්ගලික රෝහලේ පරිපාලන නිලධාරියා වශයෙන් යැයි පැවැසීය.

විශාල කාලයක් පුරා මහත් පරිශ්‍රමයක් දැරීමෙන් පසු ඖෂධ නියාමන අධිකාරිය හරහා අදාළ පෞද්ගලික රෝහලට සහ එහි අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව මෙම අධිකරණයේ නඩු පැවරීමට තම සේවාදායකයා කටයුතු කළේ සමස්ත රට වැසීයාම හූරාගෙන කන රෝහල් මාෆියාවට එරෙහිව මිස හුදෙක් පෞද්ගලික ලාභ අපේක්‍ෂාවකින් නොවේ යැයි නීතිඥ රංජිත් හීල්ලගේ මහතා පැවැසීය.

විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරූ පසු ඔවුන්ට අධිකරණයේ පෙනී සිටීමට නියම කරමින් නොතිසිද නිකුත් කිරීමෙන් අනතුරුව සිදු වූයේ 'නඩුව හොරා පැහැරගෙන ගියා වගේ' සිදුවීමක් යැයි කී නීතිඥ රංජිත් හීල්ලගේ මහතා නොතිසි නිකුත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රාජකාරි නිවාඩු ගත් දිනයේදීම පැමිණිලිකාර ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හෝ නොමැති අවස්ථාවක අදාළ පෞද්ගලික රෝහලේ බලයලත් නියෝජිතවරයකු බව පවසමින් අධිකරණයේ පෙනී සිටි පුද්ගලයකුට දඩ නියම කිරීමට වැඩබලන මහේස්ත්‍රාත්වරිය කටයුතු කිරිම ඉතාම පුදුම සහගත යැයිද පෙන්වා දුන්නේය.



විත්තිකරුට එරෙහි චෝදනා 11ට නියම කර ඇත්තේ රුපියල් 25,000/- ක දඩයක් යැයිද ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ වන චෝදනාවකට වැරැදිකරුවකු වන පුද්ගලයකු හෝ ආයතනයක් රටේ මහජනතාවගෙන් සමාව අයැදිමින් ජාතික පුවත්පත් තුනක දැන්වීම් පළකළ යුතු වුවත් මෙම විත්තිකරුට එවැනි දඬුවමක් හෝ පනවා නැතැයි පෙන්වා දුන් නීතිඥ රංජිත් හීල්ලගේ මහතා කැලුම් ගිමේන්ත්‍ර ජයසුරිය නමැත්තා අධිකරණයට ඉදිරිපත් වී ඇත්තේ අදාළ සමාගම වෙනුවෙන් මිස එහි අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් නොවෙන හෙයින් පෞද්ගලික රෝහලේ අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව මෙම නඩුව කැඳවීමේ හැකියාවක් ඇතැයි පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සිදු වී ඇති දේ පිළිබඳ පුදුමය පළ කරමින් මෙය කිසිසේත්ම අපේක්‍ෂා කළ නොහැකි තත්ත්වයක් බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරිය අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරුන්ට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලබන 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් යළි නොතිසි නිකුත් කළාය.

අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් නීතිඥ ඩිල්ෂාන් මහයාගොඩ මහතා සමඟ නීතිඥ රංජිත් හීල්ලගේ මහතා පෙනී සිටියේය.