anura-kumara-t-jayashanker

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා හමුවී තිබේ.

ඊයේ (05දා) සිදුවූ මෙම හමුවෙන් පසුව සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ ජාතික ජනබලවේගයේ නායකයා හමුවී සාකච්ඡා කිරීම පිළිබඳව තමන් බෙහෙවින් සතුටට පත්වන බවයි.

ද්විපාර්ශ්වික සාකච්ඡා පුළුල් වීමෙන් දෙපාර්ශ්වය අතර ඉතා හොඳ අනන්‍ය සහයෝගීතාවයක් වර්ධනය වන බවත් අසල්වැසියා ප්‍රමුඛ ප්‍රතිපත්තිය සමග ඉන්දියාව සෑම විටම ශ්‍රී ලංකාව සමග සිටින බවත් විදේශ අමාත්‍යවරයා එහි සඳහන් කර තිබේ.



ශ්‍රී ලංකාව ඉන්දියාවට විශ්වාසවන්ත මිතුරෙකු වනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

දෙපාර්ශ්වය අතර පැයකට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

එමෙන්ම ජාතික ජනබලවේගයේ නායකයා ඊයේ (05දා) පස්වරුවේ ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා ද හමුව තිබේ. මෙම හමුව සර්දාර් පටේල් භවාන් හිදී සිදුවිය.

ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුව අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දූත පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති. මෙම දූත පිරිසට ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් නිහාල් අබේසිංහ, මහාචාර්ය අනිල් ජයන්ත හා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එක්ව සිටිති.
 නවෝද්‍යා පවනි