Problems-again-in-issuing-cricket-tickets

ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන අවසන් විස්සයි 20 තරගය නැරඹීම සදහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී බරපතළ ප්‍රශ්න රැසකට ක්‍රීඩාලෝලීන්ට මුහුණදීමට සිදුවන බවට චෝදනා එල්ල වෙති.

ක්‍රීඩා පිටියේ තරග නැරඹීම සඳහා ඇති පහළම ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 200කි. එම මිලට ටිකට් මිලදී ගැනීම සදහා ඊයේ (21දා) දහස් ගණනාවක් ක්‍රීඩාලෝලීන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ අලුයම් කාලයේ සිට රැඳී සිටින අයුරු දැකගැනීමට හැකි විය.



දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිරිපිට ප්‍රවේශපත්‍ර අළෙවි කිරීමේ කටයුතු පෙරේදා (20දා) ආරම්භ කොට නැවත ප්‍රවේශපත්‍ර අවසන් බව ප්‍රකාශ කරමින් එහි අළෙවිය නවතා දැමූ බවත් එදිනද පෝලිමේ සිට ප්‍රවේශපත්‍ර ලබාගැනීමට නොහැකි වූ බව ඔවුහු පවසති.

ඊයේ (21දා) අලුයම් කාලයේ සිට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ක්‍රීඩාලෝලීන් ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා රැඳී සිටි අතර, උදෑසන 9.45ට පමණ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවේශපත්‍ර නිකුත් කරන කණ්ඩායම ප්‍රා.ලේ. කාර්යාලයට පැමිණ එහි වැඩකටයුතු ආරම්භ කිරීමට මත්තෙන් ප්‍රවේශපත්‍ර දෙදහක් පමණක් පවතින බව ප්‍රදර්ශනය කළේය. ඒත් සමගින් ක්‍රීඩාලෝලීන් දැඩි නොසන්සුන්තාවට පත්ව දැඩි ලෙස කියා සිටියේ මෙහි ප්‍රවේශපත්‍ර ජාවාරමක් සිදුවන බවය.

ක්‍රීඩාංගණය ඉදිරිපිට ඕනෑ තරම් වැඩි මිලට ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමට තිබෙන  බවද මෙම ක්‍රීඩාලෝලීන් චෝදනා කරන්නට විය.

මෙහි දෙස් විදෙස් සංචාරකයන බොහෝ දෙනෙකු රැඳී සිටී අතර, විදේශීය සංචාරකයන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සඳහා පෝලිමේ නොසිට ලබාදීමට එහි ජනතාව එකඟත්වය පළකිරීම විශේෂත්වයකි. කෙසේ වෙතත් අතිවිශාල ජනතාවක් ඊයේ (21දා) උදෑසන වනවිට ප්‍රා.ලේකම් කාර්යාලය  ඉදිරිපිට රැඳී සිටියහ.


(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)