
පොලිස් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකු සන්තකයේ තිබූ රුපියල් 58,000ක් වටිනා ජංගම දුරකතනයක් රුපියල් 5,000කට පුද්ගලයකුට අලෙවි කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් භටයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අම්පාර මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටින පොලිස් කොස්තාපල් රියැදුරෙකි.
අම්පාර ප්‍රදේශයේ පසුගිය වසරේ ජුලි 30 වැනිදා පැවැති සැණකෙළියක් අතරතුරදී සැණකෙළි භූමියේදී ඇති වූ සිද්ධියක් මුල් කරගෙන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් එම පුද්ගලායගේ ජංගම දුරකතනය පොලිසිය භාරයට ගෙන ඇත.
පොලිසිය භාරයට ගත් ජංගම දුරකතනය ඉහත සැකකාර කොස්තාපල් වෙනත් පුද්ගලයකුට අලෙවි කර ඇති බව ද පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් ජංගම දුරකතන හිමිකරු පොලිසියට කළ පැමිණිල්ලකට අනුව,
අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ සම්බන්ධයෙන් දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව විමර්ශන පවත්වා, එය මිලදීගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත සැකකාර කොස්තාපල් පෙරේදා (17 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ඊයේ (18 වැනිදා) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval