Sachini-Duva-multi-day-cruise-kills-fisherman-due-to-poisonous-fish-buries-3000-kg-of-fish

බහුදින යාත්‍රාවක මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු විස සහිත මාළු තොගයක් නිසා අම්බලන්ගොඩ ධීවරයෙකු මියගිය පුවතක් හා එම මාළු පාරීක්ෂා කර කිලෝ ග්‍රෑම් 3000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීමට සිදුවීමේ පුවතක් වාර්තාවේ.
අම්බලන්ගොඩ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ඊයේ (10) මෙම නරක් වූ මාළු අම්බලන්ගොඩ ධීවර වරාය පරිශ්‍රයේ වලදැමූ බව අම්බලන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ ආර් පාලිත මහතා ප්‍රකාශ කළේය.

මාළු ගොඩබෑමට ගොස් ධීවරයින් රෝහල්ගත කිරීමේ සිද්ධිය සැලවීමත් සමග සාම්පල් ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවූ බවත් මාළු නරක් වී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබෙන බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වූ බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය. බෝට්ටුවේ මාළු ගබඩාකරන ටැංකි වල අයිස් දිය වී මාළු නරක් වූ විට මීතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්, සල්ප ඩයොක්සයිඩ් වැනි විෂ වායූන් නිශ්පාදනය වන බවද කේ ආර් පාලිත මහතා අවධාරණය කළේය.



පසුගිය බදාදා (07) සවස අම්බලන්ගොඩ ධීවර වරායේ  ‘සචිනි දුව’ බහුදින යාත්‍රාවේ මාළු ගොඩබාමින් සිටි ධීවරයෙකු එම බෝට්ටුවේ මාළු ගබඩාකරන ටැංකිය තුලදී සිහිසුන් වීම හේතුවෙන් බළපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගියේය. මියගොස් තිබුණේ නො. 14, පොකුණපාර, පරගහතොට, වතුගෙදර ලිපිනයේ පදිංචිව සිටි එච් එම් සරත් කුමාර (44) නොහොත් කොටා නැමැති අයයි. මියගිය අයගේ අවසන් කටයුතු ඊයේ (10) වතුගෙදර, තොටවත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

සිහිසුන් වූ ධීවරයා මුදා ගැනීමට ගිය තව තවත් ධීවරයින් 10 දෙනෙකුද සිහිසුන්ව ප්‍රතිකාර සදහා බළපිටිය මූලික රෝහලට ඇතුලත් කිරීමටද කටයුතු කර තිබුණි. මෙයින් දෙදෙනෙක් දැඩි සත්කාර ඒකකයේත් අනික් 08 දෙනා 12 වාට්ටුවේත් ප්‍රතිකාර ලබා මේ වන රෝහලින් පිටත්ව ගොස් ඇත.
මෙම බහුදින යාත්‍රාවේ අයිතිකරු ආර් පී නිහාල් මහතා පසුගිය 07 දින සවස අම්බලන්ගොඩ ධීවර වරායේදී ප්‍රකාශ කළේ 05 දින බෝට්ටුව වරායට පැමිණි බවත් මාළු ඉවත් කර ‘වන්නෝ’ මාළු කූරි 05 ක් ඉවත් කිරීමට ධීවරයින් 07 දින බොට්ටුවේ ටැංකියට බැස්ස බවත්ය. මෙම බෝට්ටුවේ මාළු කොපමණ තිබුණාද යන්න සහ බොට්ටුව රස්සාවේ ගියේ කවදාද යන්න පවා තමාට අමතක බවද ඒ මහතා එදින ප්‍රකාශ කළේය.
නමුත් සාම්පල් ලබාගත් මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේ බොට්ටුවේ ටැංකියේ තිබී නරක් වූ මාළු කිලෝ ග්‍රෑම් 3000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කල බවය.

ටැංකියේ ගැටළුවක් හේතුවෙන් අයිස් දිය වී පල් වී තිබුණ බවද මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ මතය විය.
මේ අනුව මාළු නරක් වී විෂ වායු ඇති වීමේ අවදානමක් තිබූ ටැංකියට ධීවරයින් බැස්සවීමේදී බෝට්ටුවේ අයිතිකරුගේ ප්‍රකාශ බරපතල සැකයට හේතු වී තිබෙන බවද ධීවර වරායේ බොහෝ පිරිසකගේ මතය වී තිබේ.
අම්බලන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍යය පරීක්ෂක කේ ආර් පාලිත, අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ මහතාගේ උපදෙස් මත සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත යන මහත්වරුන් ඇතුළු මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් හා පොලිස් නිලධාරීන් පිරිසක් පරීක්ෂණ පැවැත්වූහ.

ජයකාන්ත ලියනගේ  -  බළපිටිය