prabath-eranga-dilnesha

ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට මරුකැඳ වූ අනතුර වන අවස්ථාවේදී වී - 8 වර්ගයේ සුඛෝපභෝගී පිප් රථය පැදවූ සනත් නිශාන්ත මහතාගේ රියැදුරා රිමාන්ඩ් බාරයට පත්කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුව විදාන මහතා කන්ටේනර් රථයේ රියැදුරා ඇප මත මුදා හැරීමට ඊයේ (26) නියම කළේය.
කන්ටේනර් රථයේ රියැදුරා රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි කඳාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් රුපියල් ලක්ෂ 05ක් වටිනා ඇපකරුවකුගේ බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ රියැදුරු බලපත්‍රය ද තාවකාලිකව මුදා හැරීමට නියම කළේය.



සනත් නිශාන්ත මහතා ගමන් ගත් වී.8 වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථය ඝට්ටනය වූ කන්ටේනර් රථයේ රියැදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා මෙලෙස මුදා හරින ලද අතර වී 8 වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථය පැදවූ සහත් නිශාන්ත මහතාගේ රියැදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සූරිය නෙට්ටි අධිකාරි මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කළේය.

අනතුරින් පසු සැකපිට අත්අඩංගුවට ගෙන කදන පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ කන්ටේනර් රථයේ රියැදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ කඳන පොලිසියේ නිලධාරිහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද ඉදිරිපත් කළහ.
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී පෙරේදා (25) අලුයම 2.00ට පමණ අනතුරක් සිදුවී ඇතැයි ද කටුනායක සිට කොළඹ
දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක පිටුපස වී -8 වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයක් ගැටී ඇතැයිද දැනුම් දුන් නිලධාරීහු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා වශයෙන් කටයුතු කළ පොලිස් කොස්තාපල් ජයකොඩි මහතා මියගොස් ඇතැයි දැනුම් දුන්හ.



අනතුරින් සුළු තුවාල ලැබූ සනත් නිශාන්ත මහතාගේ රියැදුරා වශයෙන් කටයුතු කළ ඔහු ගමන්ගත් වි. 8 වර්ගයේ සුඛෝපභෝගි ජිප් රථය පැදවූ අය රාගම රෝහලේ 39 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයිද කී නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන්නේ යැයි කීහ.
කන්ටේනර් රථය පැදවූ සැකකාර රියැදුරා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහත්වරු කරුණු දක්වමින් මෙම අනතුරේදී තම සේවාදායකයා කිසිදු වරදක් කර නැතැයිද සුඛෝපභෝගී ජිප් රථය තම සේවාදායකයාගේ රථයේ පිටුපසින් හප්පා ඇති හෙයින් ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ කන්ටේනර් රථය පැදවූ රියදුරා ඇප මත මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන මස 19 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ඔහුට නියම කළේය.
ඉන් අනතුරුව රාගම රෝහලේ 39 වැනි වාට්ටුවට ගිය වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධර්මික උඩුව විදාන මහතා එහි නේවාසිකව ප්‍රතිකාර ලබන ප්‍රහාත් රංග විල්නේෂා නමැත්තා නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව ලබන මස 05 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ් බාරයට පත් කළේය.

මනෝප්‍රිය ගුණසේකර