dulanjalee-dunston-wife

කහතුඩුව අධිවේගී පිවිසුම ඉදිරිපිට දී ගුවන් සේවා නිලධාරිනිගේ ඝාතකයාගේ බිරිද පොලිසිය වෙත පැමිණ දරුවන් සිව් දෙනාගේ නීත්‍යානුකූල භාරකාරත්වය ඇයට ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව කහතුඩුව පොලිසිය කියයි. ඇය එලෙස පැමිණ ඇත්තේ පිළියන්දල පොලිසියට සහ කැස්බෑව පොලිසිය වෙත යාමෙන් අනතුරුව බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.ඇය 2021 වසරේ සිට එල්ලාවල ලියනගේ ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා නැමැත්තා සමග වෙන්වි ජීවත්වන බවත් ගැහැණු දරුවන් සිව් දෙනකු සහ පිරිමි දරුවකු සිටින බවත් ඇය ප්‍රකාශ කර ඇත.

එම ගැහැණු දරුවන් සිව්දෙනා සැකකරුගේ නැගණිය භාරයේ මේ වන විට පසුවේ.

ඇය ඊයේ (11) පොලිසිය වෙත පැමිණ ඇත්තේ ද එම පුතු සමගය. තමන් මේ වන විට එකම පුතු සමග අප්‍රසිද්ධියේ ජීවත් වන බවත් ඇය සිටින නිවසක ලිපිනයක් හෝ පොලිසියට පවා ලබා දීමට කටයුතු  නොකර තිබිණි.ඊට හේතුව එම පුද්ගලයා විවිධ පුද්ගලයන් ලවා ඇයට සහ පුතුට විවිධ අවස්ථාවල හිරිහැර කිරීම බව ඇය පවසා ඇත..

තම සැමියා කෙළිලොල් ජීවිතයක් ගත කරන බවත් ඝාතනයට ලක් වූ අනුරුද්ධිකා සමග පැවති අනියම් සම්බන්ධය හේතුවෙන් තමන්ට පහර දුන් වාර අනන්ත බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ ලබා දී ඇත.මේ ආකාරයෙන් ඇය පැයකට අධික කාලයක් සිය ප්‍රකාශ ලබා දී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී ස්ථානාධිපතිවරයා ඇය වෙත උපදෙස් ලබා දී ඇත්තේ ඊට අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසයි.

රූමත් සිවිල් ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු ඊයේ (11) කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ පානදුර බෙක්කේගම

ප්‍රදේශයේ පදිංචිව සිටි එල්ලාවල ලියනගේ ඩන්ස්තන් ප්‍රසාද් පෙරේරා නමැති 48 හැවිරිදි පස් දරු පියාය.

ඉකුත් 9 වැනි වැනි දින මෙලෙස ඝාතනයට ලක්වූයේ දුලාංජලී අනුරුද්ධිකා නමැති කාන්තාවකි. ඇය පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකි. ඇය වෛද්‍යවරයකුගේ බිරිඳකි.සැකකරු ඝාතනයට ලක් වූ ගුවන් සේවා නිලධාරිනිය සමඟ වසර ගණනාවක් අනියම් පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර ඇය සමග හටගත් විරසකයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

ඝාතනයට ලක් වූ කාන්තාව ඉකුත් නවවැනි දින රැකියාව නිමවා කහතුඩුව අධිවේගී පිවිසුමෙන් බැස නිවසට යෑම සඳහා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය වෙත පැමිණීමේ දී ඇය එන පෙරමග රැඳී සිටි

සැකකරු මෝටර් රථයේ ඩිකීයේ සඟවාගෙන ආ තියුණු ආයුධයෙන් ඇයගේ ශරීරයේ ස්ථාන කීපයකටම දරුණු පහරවල් කීපයක් එල්ල කර පලා ගොස් තිබූ බව පොලිසිය අධිකරණ හමුවේ පැවසීය.අනතුරුව සැකකරු විදේශ රටකට පලා යෑම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොස් සිටිය දී අත්අඩංගුවට ගත් බවත් ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය සහ ඒ සඳහා පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ