wasgamuwa-canabies

ව්‍යාපාරිකයන් පිරිසක් වස්ගමුව ජාතික වනෝද්‍යානය වනසමින් වගා කළ කංසා හේන් යායක් වස්ගමුව ජාතික වනෝද්‍යාන නිලධාරීහු විසින් දින දෙකක මෙහෙයුමකින් පසු ඊයේ (21) සොයා ගනු ලැබූහ.එහිදී මහා පරිමාණ කංසා ව්‍යාපාරිකයෝ තිදෙනෙක්ද වනජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සුදුකන්ද පාමුල ඝන වනාන්තරය අක්කර ගණනක් විශාල කැලෑව විනාශ කර මෙම කංසා හේන් පවත්වගෙන ගොස් ඇතැයි වනෝද්‍යාන නිලධාරීහු සඳහන් කළහ.අක්කර පහක පමණ ප්‍රදේශයක හොඳින් වැඩුණු කංසා ගස් ලක්ෂයක් ගිනි තබා විනාශ කිරීමට වැටලීම කළ නිලධාරීහු කටයුතු කළහ.අත්අඩංගුවට ගත් කංසා ව්‍යාපාරිකයෝ ඇඹිලිපිටියේ පදිංචිකරුවෝ වෙති.



කංසා හේන් වගාවට තවත් පිරිසක් එහි රැඳී සිට ඇති අතර වනෝද්‍යාන නිලධාරීන් වැටලීම කරන විට පිරිසක් පලාගොස් ඇතැයි එම නිලධාරීහු පැවැසූහ.කූඩාරම් කීපයක් ඒ අවට තනාගෙන මාස ගණනාවක් තිස්සේ රැඳී සිටිමින් මෙම ජාවාරම කර ඇතැයි ඔවුහු කීහ.එහි එක් කූඩාරමක අලෙවියට සූදානම් කර තිබූ ගංජා කිලෝ 30කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව වස්ගමුව ජාතික වෙනෝද්‍යාන නිලධාරීහු සඳහන් කළහ.

වස්ගමුව රක්ෂිත ප්‍රදේශයේ විශාල භූමියක කැලය කපා ගිනි තබා කංසා වගා කර ඇති බවට ලද රහසිගත තොරතුරකට අනුව දින දෙකක් තිස්සේ මහ මඟ ගෙවා ගොස් මෙම කංසා වගා සොයාගත් බවද ඔවුහු පැවැසූහ.

හොඳින් නොවැඩුණු කුඩා ප්‍රමාණයේ කංසා පැළ සහිත තවත් විශාල භූමියක් ඒ ආසන්නයේම වූ බව ඔවුහු කීහ. මෙම කංසා තොගයේ වටිනාකම රුපියල් කෝටි 10කට ආසන්න බව වනෝද්‍යාන බාර නිලධාරීහු පැවැසූහ. එවා සියල්ල උදුරා ඒවා එම ස්ථානයේම විනාශ කර දැමීමට නිලධාරීන් කටයුතු කර ඇත.

ඔවුන් සන්තකයේ තිබී ජල නළ, සෝලා පැනල්, උදලු, කැති, පොරෝ, ජංගම දුරකතන, පොහොර, වල්නාශක, කෘමි නාශක, බාල්දි ආදී භාණ්ඩ රැසක්ද වනෝද්‍යාන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් භාණ්ඩ නාවුල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. වස්ගමුව ජාතික වනෝද්‍යාන භාරකරු භාතිය මඩුගල්ල මහතාගේ මෙහෙයවීමෙන් අඩවි ආරක්ෂක ටී.ආර්. ප්‍රදීප්, එම්. සී.එන්. මාරසිංහ, ජේ.පී.එම්. ආරියසිංහ යන නිලධාරීන් ඇතුළු වනෝද්‍යාන නිලධාරීන් 55 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම වැටලීම කර ඇත.

බී.ජී. චතුරංග