kalutara-incident

මත්කුඩු සම්බන්ධයෙන් වූ ආරවුලක් හේතුවෙන් නිවසක රඳවා දෑත් දෙපා ගැටගසා පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දුන් බව කියන සංවිධානාත්මක කල්ලියක සාමාජිකයන් හත්දෙනකු කඩු තුනක් ඇතුළු ආයුධ සමග

අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන අංශය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර,

කලමුල්ල සහ ලාගොස්වත්ත ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ත් 28ත් අතර වයස්වල පසුවන පිරිසක් බව පොලිසිය කියයි.කළුතර, ලාගෝස්වත්ත ප්‍රදේශයේ වැටලීමක් කරද්දී නිවෙසක සිටි කිහිප දෙනකු දිවගොස් ඇති බවත්, ඔවුන් ලුහුබැඳ අත්අඩංගුවට ගෙන නිවස පරීක්ෂා කිරීමේ දී දෑත් දෙපා ගැටගසා තියුණු ආයුධවලින් පහර දී බිම දමා සිටි තරුණයෙක් සොයාගත් බවත් පොලිසිය කියයි.

තරුණයාට පහර දුන් කඩු 3ක්, හඳුනා නොගත් මත් කරල්, හොරොයින් අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් කිහිපයක් සහ ඇසුරුම් උපකරණ කිහිපයක් ද එහි තිබී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. තරුණයා පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථයක්,

යතුරු පැදි දෙකක්ද පොලිස් ආරයට ගෙන ඇත.සැකකරුවකුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ මත්ද්‍රව්‍ය අලෙවි කර මුදල් නොදීම හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගල කණ්ඩායම පෙරදින රාත්‍රියේ මෝටර් රථයකින් පැමිණ කළුතර කලමුල්ල ප්‍රදේශයේ දී මෙම තරුණයා පැහැරගෙන විත් අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා ඇති බවයි.

නිවසේ පදිංචිකරු ද අත්අඩංගුවට පත් වූවන් අතර සිටින බවත්, ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ පුද්ගල කණ්ඩායමක් පැමිණ බලහත්කාරයෙන් නිවසට ඇතුළු වී මෙම පුද්ගලයාට පහර දී ඇති බවත්ය.තමා එයට විරුද්ධ වූ විට දරුවන් දෙදෙනා සමග ඇය කාමරයක දමා දොරගුළුලා වැසූ බවත් ඇය ප්‍රකාශ කර ඇත. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සුමිත් පොතුපිටිය