sabaragamuwa-medical-protest

මහාචාර්ය ඒකකයක් පිහිටුවන ලෙස සහ තවත් අත්‍යවශ්‍ය අධ්‍යයන පහසුකම් සපයන ලෙස ඉල්ලමින් සබරගමුව වෛද්‍ය පීඨයේ පළමු කණ්ඩායමේ වෛද්‍ය සිසුන් වෙරලුප හන්දියේ තනා තිබූ උපවාස අට්ටාලය පෙරේදා (18දා) රාත්‍රී මඟ වැස්සේ පැමිණි පොලිස් නිලධාරීන් විසින් කඩා බිඳ දමනු ලැබීය. සබරගමුව විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පිහිටු වූ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහාචාර්ය පුහුණුව ලබාදෙන්නේ රත්නපුර ශික්‍ෂණ මහ රෝහලේ වෙන් කළ වාට්ටු දෙකකිනි.



වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය ඒකකය යනු වෙනම ම වාට්ටු සංකීර්ණයක් බවත්, අඩුම තරමින් වාට්ටු පහක්වත් වෛද්‍ය පීඨ මහාචාර්ය ඒකකයක තිබිය යුතු බවත් උපවාසයේ නියුතු වෛද්‍ය සිසුහු කියති.ලංකාවේ නවවැනි වෛද්‍ය පීඨය සබරගමු විශ්වවිද්‍යාලයේ ස්ථාපිත මෙම වෛද්‍ය පීඨයයි. කුරුවිට බටුහේන්නේ පිහිටි එය අරඹන ලද්දේ 2019 ජනවාරි 13 දින එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහමහතා විසිනි. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව යටතේ කුරුවිට බටුහේනේ පිහිටුවා තිබූ එකම පුහුණු මධ්‍යස්ථාන භූමියේ එය ස්ථාපිත කරනු ලැබීය.

මුලින් බඳවාගත් සිසු කණ්ඩායම දැන් අවසන් වසරේ ය. එම කණ්ඩායමට වෛද්‍ය සිසු සිසුවියන් හැත්තෑ පහක් අයිතිය. ඔවුන්ට අවශ්‍ය මාහාචාර්ය පුහුණුව නිසි ආකාරයෙන් නොලැබෙන බවට වත්මත් සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පෙන්වා දෙති. පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම ඔවුහු ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය දිනාගැනීමට විරෝධතා සහ විරෝධතා පාගමන් ද පැවැත්වූහ. එහෙත් ඊට විසදුම් නොලැබිණ.

අවසානයේ දී ඔවුහු මීට දින කිහිපයකට පෙර රත්නපුර කොළඹ පාරේ වෙරලුප හන්දියේ දී අට්ටාලයක් අටවා උපවාසයක් ආරම්භ කළහ.

රත්නපුර නව නගරයේ ගල්කඩුව ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර විස්සක බිම් ප්‍රමාණයක් සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට වෙන්කර ඇත. වෛද්‍ය පීඨය කුරුවිට බටුහේනේ ආරම්භ කර වසරකට පමණ පසු එනම් 2020 ඔක්තෝබර් 24 දින වෛද්‍ය පීඨයේ නව පරිපූරක සායන සහ පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබිණ.

සෞදි අරාබි රජයේ සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් මගින් එය ඉදිකිරීමට නියමිත විය. ශ්‍රී ලංකා රජ්ය මගින් ඊට රුපියල් බිලියන 1.013ක් වැය කරනු ලබයි. නමුත් මේ වනවිට එහි වැඩකටයුතු අවසන් නැතැයි සිසුහු චෝදනා කරති.අවසන් වසරේ වෛද්‍ය සිසුන්ගේ ඉල්ලීම පරිදි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරින් පැමිණ කළ නිරීක්‍ෂණයකින් අනතුරුව වෛද්‍ය විද්‍යාලයක මහාචාර්ය ඒකකය යනු වෙනම ම වාට්ටු සංකීර්ණයක් බවත්, අඩුම තරමින් වාට්ටු පහක්වත් වෛද්‍ය පිඨ මහාචාර්ය ඒකකයක තිබිය යුතු බවත් සදහන් කළ බව වෛද්‍ය සිසුහු පවසති.තම අයිතිවාසිකම් ඉල්ලා කළ සාමකාමී උපවාසයට ආණ්ඩුවේ බලධාරීන් පොලිස් නිලධාරීන් යොදවා එල්ල කළ මෙම ප්‍රහාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කර ඇති සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එල්ල කළ මරු පහරක් බව ද කීහ.
 අජිත්ලාල් ශාන්තඋදය