israel-hospital

ඔක්තෝම්බර් 7 දා ඊශ්‍රායලයට එල්ල කරන ලද මාරාන්තික හමාස් ප්‍රහාරයෙන් පසු ගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් පිරිස,  ගාසා තීරයේ විශාලතම රෝහල වන අල්-ෂිෆා රෝහලට රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කර තිබේ.

හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ ප්‍රාන ඇපකරුවන් අතර සිටි එක් සෙබළෙකු  එහිදී ඝාතනය කර ඇති බවයි. 19 හැවිරිදි Cpl Noa Marciano නම් තරුණිය සුළු තුවාල සහිතව අල්-ෂිෆා රෝහලට ගෙන යාමෙන් පසුව මිය ගිය බව ඔහු පැවසීය.

ඊශ්‍රායලය කියා සිටියේ,  හමාස් අණදෙන මධ්‍යස්ථානයක් යැයි තමන් උපකල්පනය කළ ස්ථානයේ තිබී උමං මාර්ගයක් සොයාගත් බවයි. නමුත් හමාස් සංවිධානය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.

ඉරිදා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) විසින් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉදිරිපත් කරන ලද වීඩියෝව සත්‍යාපනය කිරීමට තවමත් නොහැකි වී තිබේ.

"අද උදෑසන අපි Noa ගේ පවුල සමග කතා කළා, අප සොයාගත් ආකාරයට , ඇයව ෂිෆා අසල ආරක්ෂිත නිවසකට පැහැරගෙන ගොස් තිබුණා,"  යැයි IDF ප්‍රධාන ප්‍රකාශක රියර් ඇඩ්ම් ඩැනියෙල් හගාරි පැවසීය. Noa සගවා තබාගෙන සිටි ප්‍රදේශයට IDF විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින්, ඇයව රදවාගෙන සිටි හමාස් ත්‍රස්තවාදියා මිය ගිය ගොස් තිබේ. එම ගුවන් ප්‍රහාර වලින් ඇයද තුවාල ලැබූ නමුත් ජීවිතයට තර්ජනයක් වීමට තරම් එම තුවාල බරපතල නොවීය. එම අවස්ථාවේ දී Noa ෂිෆා රෝහලට ගෙන යන ලද අතර එහිදී තවත් හමාස් ත්‍රස්තවාදියෙකු විසින් ඇයව ඝාතනය කරන ලදී. ." යැයිද හගාරි වැඩිදුරටත් පැවසීය.

හමාස් මීට පෙර ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් Noa  මිය ගිය බවයි.  එය නොවැම්බර් 9 වන දින සිදු වූ බව IDF ප්‍රකාශ කළේය.

රියර් ඇඩ්ම් හගාරි විසින් ඔක්තෝබර් 7 වන දින උදෑසන සිට ඇති  CCTV දර්ශන ඉදිරිපත් කළේය.  ඔක්තෝබර් 7 යනු හමාස් විසින් දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරය දියත් කළ දිනය වන අතර එහිදී ඊශ්‍රායල ජාතිකයින් 1,200 ක් මිය ගොස් 240 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගත්හ.

ගාසා තීරයේ විශාලතම හා නවීනතම රෝහල වන අල්-ෂිෆා රෝහලට ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු ගෙන එන අයුරු හගාරි ඉදිරිපත් කළ වීඩියෝවේ දැක්වේ.



උතුරු ගාසා තීරයේ ඇති මෙම විශාල වෛද්‍ය සංකීර්ණයට යටින් හමාස් සංවිධානයේ අණදෙන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට ඊශ්‍රායලය විසින් කරන ප්‍රකාශය සනාථ කිරීමට IDF තවමත් සමත්ව නැත.

ඊශ්‍රායලය විසින් නිකුත් කරන ලද වීඩියෝවට ප්‍රතිචාර දක්වමින් ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය කියා සිටියේ එම දර්ශනවල සත්‍යතාව තහවුරු කිරීමට තමන්ට නොහැකි බවයි. ගාසා තීරයේ සෞඛ්‍ය සේවා පිරිහීම සහ බිඳවැටීමේ සම්පූර්ණ වගකීම ඊශ්‍රායලය ගත යුතු බව ද අමාත්‍යාංශය පවසයි.

මීට පෙර, IDF විසින් වීඩියෝවක් නිකුත් කරන ලද අතර, එයින් කියා සිටියේ , මීටර් 10 (අඩි 33) ක් පමණ පොළව යට  උමං මාර්ගයක් ඇති බවත්, එය මීටර් 55 ක් පමණ දක්වා දිව යන බවත්ය. එය රෝහල් සංකීර්ණයේ ඇති බොහෝ ගොඩනැගිලි හමාස් සංවිධානය විසින් ත්‍රස්තවාදී යටිතල පහසුකම් සහ ක්‍රියාකාරකම් සඳහා ආවරණයක් ලෙස භාවිත කර ඇති බවට "පැහැදිලිවම ඔප්පු කරන" සාක්ෂියේ කොටසක් බව IDF  පවසයි.

අල්-ෂිෆා හි භූගත හමාස් කඳවුරක් කෙසේ විය හැකිදැයි අනුමාන කරමින්  IDF විසින් මීට පෙර පරිගණක නිරූපණයක් ඉදිරිපත් කර ඇත. නමුත් එවැනි ආකාරයේ කදවුරක් පිළිබදව තවමත් සාක්ෂි නොමැත.

හමාස් සංවිධානය විසින් අල්-ෂිෆා ඇතුළු ගාසා තීරයේ ඇති රෝහල් සියල්ල, අණදෙන මධ්‍යස්ථාන සහ අවි ගබඩා ලෙස භාවිත කර ඇති බවට වන  බුද්ධි තොරතුරු තමන් සතුව ඇති බව එක්සත් ජනපදය පවසා තිබේ.

ඊශ්‍රායලයේ මිත්‍ර පාක්ෂික රටවල් හමාස් සංවිධානය ලෝකයෙන් අතුගා දැමීම අරමුනු කරගත් ඊශ්‍රායල ප්‍රතිප්‍රහාර දියත් කිරීමේ මිලිටරි ව්‍යාපාරයට සහය දක්වා තිබේ. එහෙත් එම ප්‍රහාරයන්ගෙන් සිවිල් වැසියන්ට එල්ල වන හානිය පිලිබඳව ද ඔවුන් බොහෝ විවේචනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කර ඇත.

හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ප්‍රහාරයන් ආරම්භ වූ දා සිට ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 12,300 දක්වා ඉහළ ගොස් ඇති බවයි. 2,000 කට වැඩි පිරිසක් සුන්බුන් යට සිරවී ඇතැයි සැකපළ කෙරේ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජයට ද ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල බලපෑම් එල්ල වී තිබේ. පවල්වල පිරිසට අවශ්‍ය වන්නේ ,හමාස් විසින් අල්ලාගෙන සිටින අය නිදහස් කිරීම සදහා රජය විසින් වැඩි යමක් කිරීමටය.

සෙනසුරාදා දිනයේ දී ඊශ්‍රායල වැසියන් , ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටියේය.  විරෝධතාකරුවන් මුලින්ම ටෙල් අවිව් සිට ජෙරුසලම දක්වා පා ගමනින් ගිය අතර, පසුව නෙතන්යාහු මහතාගේ නිවසින් පිටත පෙළපාලියක් පැවැත්වීමට කටයුතු කළේය.

මේ කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා සිය මෙහෙවරෙහි නොසැලී සිටින බව පෙනේ.  යුද්ධය තුළ ඔහුගේ පළමු ඉලක්කය හමාස් සංවිධානය විනාශ කිරීම වන බවත්,  ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම දෙවැනි ඉලක්කය වන බවත්,  ගාසා තීරයේ තර්ජනය තුරන් කිරීම තුන්වන ඉලක්කය වන බවත් ඔහු පැවසීය.