australia-india-final

පසුගිය මාස එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ඉන්දියාවේ පැවැත්වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගය අද අහමදාබාද්හිදී නිමාවූයේ සත්කාරක ඉන්දියාවට අමිහිරි පරාජයක් අත්කරදෙමිනි.
තරගාවලියේ මේ දක්වා පැවති සියලු තරග ජයග්‍රහණය කර අනෙක් කන්ඩායම් කිසිවකට නොවූ අභිමානයකින් අවසන් තරගයට පිවිසි ඉන්දියානු කන්ඩායම අද දින 240 වැනි සැහැල්ලු ලකුණු ගණනකට දවාගන්නට ඕස්ට්‍රෙලියාව සමත්වූ අතර පසුව ඔවුන් එම පහසු ඉලක්කය පසුකර ගියේ 43 වන ඕවරයේදීය.
තරගයේ කාසියේ වාසිය දිනා බුද්ධිමත් තීරණයකට එලැඹි ඕස්ට්‍රෙලියානු නායකයා පන්දු රැකීමට තීරණය කළ අතර පන්දු යැවීමේදී ඉන්දියාවට එරෙහි තියුණු සැලැස්මකින් කටයුතු කළේය.

ඔහු ඇතැම් අවස්ථාවල පන්දු යවන්නන් 7 ක් දක්වා උපයෝගී කරගනිමින් පිතිකරු සබඳතා කඩන්නට උත්සාහ දැරූ අතර මින් ඉහත තරග වලදී ඉන්දීය පිතිකරුවන් දැවීගිය ආකාර ගැන ගැඹුරු අධ්‍යයනයකින් යුතුව තීන්දු තීරණ ගත් බවක් පෙන්නුම් කර තිබුණි.
මෙම තර්ජනාත්මක පන්දු යැවීම හා පන්දු රැකීමේ ශක්තිවන්තභාවය නිසා ප්‍රබල ඉන්දීය පිතිකරුවන් රැසක් ඉක්මනින් ක්‍රීඩාගාරයට යවන්නට ඕස්ට්‍රෙලියානුවන් සමත් විය.
අද දින ශතකය ඉක්මවා ලකුණු රැස් කළ ඕස්ට්‍රෙලියානු පිලේ ට්‍රාවිස් හෙඩ් පන්දු රැකීමේදී රෝහිත් ෂර්මාගේ  විකට්ටුව දවාගැනීමට අගනා උඩපන්දුවක්ද රැකගත් අතර මේ තැන සිට තරගය වෙනස් විය.
අද දින ඉන්දීය පිතිකැරුවන්ගෙන් සාර්ථක වූයේ රෝහිත් (47) කෝලි (54) රහුල් (66) පමණි. ස්ටාර්ක් කඩුලු 3 ක් ගත්තේය. ඉන්දීය පන්දු යවන්නන් ඕස්ට්‍රෙලියාවට එරෙහිව මුලදී තර්ජනාත්මක පන්දු යැවීමක් පෙන්නුම් කළ අතර ලකුණු 16 දී, 41 දී හා 47 දී මුල් කඩුළු තුන ලබාගන්නට සමත්විය. නමුත් ඉවසිලිවන්ත ලෙස ට්‍රාවිස් හා ලැබෂේන් එක්ව ගොඩනැගූ සබඳතාව නිසා ජයග්‍රහණය නවතාලන්නට බැරිවිය.
මෙවර ඕස්ට්‍රෙලියාව ලෝක කුසලානය ජයගත්තේ 6 වන වතාවටය.

ඉන්දීය ප්‍රේක්ෂකයින් තරග ආරම්බයේ සිට විශාල ඝෝෂා පවත්වමින් විනෝද වූ අතර බොලිවුඩ් තාරකා මෙන්ම මෝදි ඇතුලු ඉන්දීය දේශපාලකයින්ද පැමිණ කණ්ඩායම දිරිමත් කරනු වාර්තා විය. නමුත් අවසන් ඕවර කිහිපය වනවිට තරග පරාජය වැටහී ඉන්දීය ප්‍රේක්ෂකාගාර නිහඩවී ගියේය.
තරගයේ වීරයා සම්මානය ඕස්ට්‍රෙලියාවේ ට්‍රාවිස් හෙඩ් දිනාගත් අතර තරගාවලියේ වීරයා ලෙස ඉන්දියාවේ විරාත් කෝලි සම්මාන දිනාගත්තේය.