Sheynnis-Palacios-miss-universe

ඊයේ (18) එල් සැල්වදෝරයේ පැවති විශ්ව රූ රැජින 2023 අවසන් තරගයෙන් මෙම වසරේ විශ්ව රූ රැජිණිය ලෙස කිරුළු දිනාගන්නට මධ්‍යම ඇමරිකානු රටක් වන නිකරගුවාව නියෝජනය කරමින් පැමිණි ෂෙනීස් පැලෂස් සමත්වූවාය. 23 හැවිරිදි ෂෙනීස් උපාධිධාරිනියක වූ අතර නිරූපිකාවක ලෙස කලක් තිස්සේ කටයුතු කර ඇත.
තරගයේ දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ මොරයා විල්සන්ට හිමි වූ අතර තායිලන්තයේ ඇන්ටෝනියා පොර්සිල්ඩ් තෙවැනි තැනට පත්විය.
නිකරගුවාවට මුල්වරට මෙම කිරුළ දිනාදීමට ෂෙනීස් සමත්වූ අතර ඇය රිදී ගවුමකින් විශ්මය ජනක නිල් පැහැති තොප්පියකින් - තම රටේ ජාතික ධජයට හිස නමා ජයග්‍රහණයේ මවිතය සනිටුහන් කළාය.
දේශගුණික විපර්යාසයේ සිට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය දක්වා වූ තීරණාත්මක ප්‍රශ්නවලට ඇය දක්ෂ ලෙස පිලිතුරු දුන් බව ජයගන්නා අවස්ථාවේ ප්‍රකාශ විය.
පැලෂස්ගේ ජයග්‍රහණයට අමතරව මෙවර විශ්ව රූ රැජිණ තරගය තවත් විශේෂ ලක්ෂණ කිහිපයකින් යුතුවිය. මෙම වසරේ පාකිස්ථානයේ විශ්ව රූ රැජින තරඟයේ මංගල පෙනී සිටීමක් සනිටුහන් විය. 12 වතාවක් ග්‍රැමී සම්මානලාභී ජෝන් ලෙජන්ඩ්ගේ සිත් ඇදගන්නාසුළු රංගනයක් ද මෙම අවස්ථාවට ඇතුළත් කර තිබුණි.



2000 වසරේ උපත ලද Sheynnis Palacios ජන සන්නිවේදනය පිළිබඳ උපාධියක් ලබා ඇත. ඇය තම විශ්ව විද්‍යාලය වෙනුවෙන් විශ්ව විද්‍යාල වොලිබෝල් ක්‍රීඩා කර ඇතිවා සේම ක්‍රීඩා ලෝලියෙකු බව කියැවේ.  2016 වසරේ නිකරගුවා රූ රැජින සහ 2020 නිකරගුවා ලෝක රූ රැජින යන ශූරතා දිනා සිටින්නීය. 2021 ලෝක රූ රැජින තරගයටද ඇය සහභාගීවී තිබූ අතර නිකරගුවාව නියෝජනය කරමින් අවසන් තරඟකරුවන් 40 දෙනා අතරට පැමිණි බව කියැවේ.

මෙවර විශ්ව රූ රැජිණ නව රෙගුලාසි අනුව පැවැත්විණි. විවාහකයින්ටද අවස්ථාව ලැබුණි. ගෝතමාලාවේ මිෂෙල් කෝන් තරඟයට සහභාගී වූ පළමු මව බවට පත් වූ අතර, කොලොම්බියා රූ රැජින කැමිලා ඇවේලා පළමු විවාහක තරඟකාරිය විය.  Rikki Valerie Kollé නෙදර්ලන්ත රූ රැජින ලෙස ආවේ එසේ තරඟ වදින පළමු සංක්‍රාන්ති ලිංගික පුද්ගලයා වෙමිනි. 
මෙම තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිසිවෙකු සහභාගී වී නැත.