online-act-court

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ සමගි ජන බලවේගය පක්‍ෂය තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඊයේ (04දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.



රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධානවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළු සෙසු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අමතරව මෙම පෙත්සම් දෙක ඉදිරිපත් කොට ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉදිරිපත් කළ මෙම පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයාට නම් කර ඇත. සමාජ මාධ්‍ය නියාමනය කිරීමට යැයි පවසමින් රජය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බවත් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බවත් සඳහන් කරන පෙත්සම්කරුවන් එම පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති භාෂණයේ නිදහස සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය වන බවත් සඳහන් කොට ඇත.



පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති මෙම පනත් කෙටුම්පත මගින් නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අවස්ථාව බරපතළ ආකාරයට කප්පාදු කොට ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන්ද ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් දෙන්නැයි පෙත්සම්කාර ඉල්ලා සිටිති.

-බුද්ධිමාල් රුබේරු