electricity-charges-hike

අද (20) සිට විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලැබී තිබේ.
ඒ අනුව විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු වැඩිවන ආකාරය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම  ප්‍රකාශ කර තිබේ.

 බින්දුවේ සිට 30 දක්වා ඒකකයක් සඳහා රුපියල් 10ක් ව පැවති ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ
දමා ඇති අතර, 150ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 ක් දක්වා ඉහළ නංවා තිබෙයි.



එමෙන්ම 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක්ව පැවති ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ
දැමීමට අවසර ලබාදී ඇති අතර එම ස්ථාවර ගාස්තුවද රුපියල් 300 සිට 360 ක් දක්වා ඉහළ නංවා ඇත.

61 සිට 90 දක්වා ඒකකයක් සඳහා රුපියල් 35 ක්ව පැවති ගාස්තුව රුපියල් 41ක් දක්වා ඉහළ දමා ඇති
අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට රුපියල් 480ක් දක්වා ඉහළ දමා ඇත.

91 සිට 120 දක්වා ඒකකයක් සඳහා රුපියල් 50ක් ලෙස පැවති ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 59ක්
දක්වායි.
එහි ස්ථාවර ගාස්තුව රුපියල් දහසේ සිට 1180 ක් දක්වා ඉහළ යනු ඇත.



එමෙන්ම 121 සිට 180 ක් දක්වා ඒකකයක් සඳහා රුපියල් 50 ක්ව පැවති ගාස්තුවද රුපියල් 59 ක් දක්වා
ඉහළ යන අතර, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1,770 ක් දක්වා වැඩි වෙනවා.

ඒකක 181න් ඉහළ විදුලි පරිභෝජනය කරන්නන් සඳහා ඒකකයක් සඳහා පැවති රුපියල් 75ක ගාස්තුව රුපියල්
89ක් දක්වා වැඩිවන අතර, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 සිට ඉහළ දමා ඇත්තේ රුපියල් 2,360
ක් දක්වායි.
යෝජිත විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ මහජන අදහස් විමසීමේ වැඩසටහනද පසුගිය 18 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.



මහජන අදහස් විමසීමෙන් පසු සිදුකළ කරුණු සමාලෝචනයට අනුව සියයට 18ක පමණ විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබාදී ඇති නමුත් මෙම මහජන අදහස් විමසීමේ වැඩසටහනේ කිසිදු විනිවිදභාවයක් නොමැති බව කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය දන්වා තිබුණි.

වසරක් තුළ තුන්වන වතාවටත් විදුලි ගාස්තු ඉහළ දැමීම නිසා ජනතාව අසීරුතාවට පත්ව ඇති අතර ඉදිරියේදී ඊට සාපේක්ෂව අනෙකුත් සේවාවන්හි ගාස්තුද ඉහළයාමෙන් ජනතාව කබලෙන් ලිපට වැටීමට නියමිතය.