china-woman-banned-try-to-come-sri-lanka

චීනයෙන් පිටවීමේ තහනම් නියෝගයක් චීන රජය පනවා තිබෙන කාන්තාවක් ව්‍යාජ හා අවලංගු ලේඛන භාවිතයෙන් ලංකාවට පනින්නට උත්සහ කල සිදුවීමක් වාර්තාවේ.
ඇය සොරා ගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර පිලිබඳ ජාත්‍යන්තර පොලිසියේ දත්ත ලේඛනයේ ඇති විදෙස් ගමන් බලපත්‍රයක අංකයක් ඔස්සේ මෙරටට පැමිණිතිබූ අතර එසේ පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපොළේදීම චීනයට පිටුවහල් කර යවා තිබේ.



චීනයේ කුංමි- නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යු.- 213 දරන ගුවන් යානයෙන් ඇය පෙරේදා (26) රාත්‍රී 09. 20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
53 හැවිරිදි ඇය ඇය මෙරටට ඇතුළුවීම් සඳහා කටුනායක ගුවන් තොටුපොළ ආගමන කවුළුව වෙත පැමිණ ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර තිබේ .
ඇය ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ සොරා ගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත ලේඛනයේ ඇතුළත් එකක් බව හෙළි වී ඇත්තේ එහිදීය. මේ කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ප්‍රධාන ආගමන විගමන නිලධාරිවරයා විසින් කටුනායක ගුවන් තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ (Border Surveillance Unit) නිලධාරීන් වෙත භාර දී තිබේ.



එහිදී මේ චීන ජාතික කාන්තාව විසින් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය 2017 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ වෙනත් චීන ජාතික කාන්තාවකට අයත් එකක් බවත්, ඇයගේ එම ගුවන් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී අස්ථාන ගත වී තිබූ බවත්, ඉන්පසුව ඇය වෙනත් ගුවන් ගමන් බලපත්‍රයක් මෙරටින් ලබාගෙන සිය සංචාරය නිමා කර පිටවී ගොස් ඇති බවත් අනාවරණය වී තිබේ.

කටුනායක -ටී. කේ. ඒ. කපිල