
අවාසනාවන්ත හා සැකසහිත සිදුවීමක් මුල් කරගෙන ළිඳකට වැටී මියගොස් තිබූ අවුරුදු එකයි මාස එකොළහක දැරියකගේ මිහිදන් කළ සිරුර අතුරුදන්වීමේ අසාමාන්‍ය සිදුවීමක් වවුනියාවෙන් වාර්තාවේ.
වවුනියාව, රාසේන්ද්‍රකුලම් පොදු සුසාන භූමියේ මිහිදන්කොට තිබූ කුඩා දැරියෙගේ මළ සිරුර එය තිබූ තැන
හාරා රැගෙන ගොස් ඇති අයුරු නිරීක්ෂණයෙන් පසු ඒ ගැන පරීක්ෂණ අරඹා තිබේ.
කිසියම් පිරිසක් විසින් එම මිනීවළ හාරා රැගෙන ගොස් ඇති බවට වවුනියාව නෙළුකුලම පොලිසියට ඉකුත් 7 දා දැරියගේ පියා විසින් පැමිණිලි කිරීමෙන් පසු මේ බව දැනගෙන තිබුණි.
2023 අගෝස්තු 25 වෙනිදා වවුනියාවේ පම්පමඩුව ප්‍රදේශයේ නිවසක නෑමට භාවිත කරන ළිඳකට වැටී ලිංගරාජා ඩීබිකා නමැති අවුරුදු එකයි මාස එකොළහක දැරියක් මියගිය අතර ඇගේ භූමදාන කටයුතු වවුනියාව රාසේන්ද්‍රකුලම් පොදු සුසාන භූමියේදී සිදු කොට තිබේ.
පෙරේදා (7 වෙනිදා) දැරිය මිහිදන් කළ ස්ථානයේ උදැල්ලක් ඇති බවටත්, මිනීවළ හාරා ඇති බවටත් ගම්වාසීන් පිරිසක් දැරියගේ පියාට කළ දැණුම් දීමක් මත ඔහු එම ස්ථානයට ගොස් බලන විට දැරියගේ දේහය මිනී වළෙන් අතුරුදන් වී ඇති අයුරු දැක ගැනීමට හැකි වී තිබේ.
වහාම ඔහු මේ පිළිබඳව නෙළුකුලම පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය ගොස් මිනීවළ හෑරීමට යොදා ගත් උදැල්ල අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Comments
Post a Comment
Your comment will be visible after approval