two-pet-scanners-sri-lanka

දැනට රජයේ රෝහල් පද්ධතිය සතුව ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සහ ශ්‍රී ලංකා ජාතික රෝහලේ ඒවා ස්ථාපනය කර ඇති පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකක් පමණක් බවත් ඉන් ශ්‍රී ලංකා ජාතික රෝහලේ ස්ථාපිත කර තිබෙන යන්ත්‍රයේ PET ස්කෑන් පරීක්ෂණ අවසන් වරට සිදු කර ඇත්තේ මේ මස 13 වැනිදා බවත් මින් ඉදිරියට එහි පරීක්ෂණ සිදු කළ නොහැකි තත්වයක් උදාවී ඇති බවත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසයි.

මෙයට හේතු වී ඇත්තේ එම පරීක්ෂණය සිදු සිදු කිරීමට විශේෂ පුහුණුව ලත් නිලධාරීන් නොමැතිවීමය. මෙතෙක් කල් එම පරීක්ෂණ සේවා සිදු කළ නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙකු විශ්‍රාම ගොස් ඇති අතර තවත් නිලධාරියකු විදෙස්ගත වී තිබේ.

දැනට ඉතිරිව සිටින එකම නිලධාරියාද දැඩි කලකිරීම හේතුවෙන් ඉදිරියේදී සේවය අතහැර යාමට සූදානම්ව සිටින බව පැවසේ. එයට හේතු වී ඇත්තේ එම නිලධාරියාට එරෙහිව ජාතික රෝහලේ සිටි අධ්‍යක්ෂකවරයා විසින් අභූත චෝදනා ඉදිරිපත් කොට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කොට ඔහුව වරදකරුවෙක් කර තිබීම බව චානක ධර්මවික්‍රම පවසයි.

මේ පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා දැනුවත් කළ අවස්ථාවේදී එම නිලධාරියාගේ නිර්දෝෂී බව පිළිගත් නමුත් විමර්ශන අංශය මෙම නිලධාරියා වරදකරුවෙකු බවට තීරණය කර ඇති බවද විකිරණ තාක්ෂණවේදී සේවාවේ සිටින නිලධාරීන් 13 දෙනෙකුට එරෙහිව අභූත චෝදනා ඉදිරිපත් කරමින් එම නිලධාරීන්ට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මේ වනවිට විනය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් සිටින බවද වාර්තා වේ. ම

ෙය සේවක මර්දනයක් බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

බරපතළ ලෙස පුහුණු වෘත්තිකයන්ගේ හිඟය ඉදිරියේදී බොහෝමයක් රෝහල්වල CT, MRI, PET ස්කෑන් පරීක්ෂණ සේවා, හෘද කැතීටර කරන පරීක්ෂණ සේවා, ශල්‍යාගාර විකිරණ පරීක්ෂණ සේවා, සාමාන්‍ය විකිරණ පරීක්ෂණ ඇතුළු විකිරණ තාක්ෂණවේදීන් විසින් සිදු කරන රෝග විනිශ්චය සහ රෝග ප්‍රතිකාර සේවා අඩාල වීමට නියමිතව ඇති බවද පැවසේ. ඉදිරියේදී රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය, අනුරාධපුර, යාපනය, මඩකලපුව, පේරාදෙණිය වැනි ශික්ෂණ රෝහල්, රත්නපුර, බදුල්ල, කෑගල්ල, පොලොන්නරුව වැනි පළාත් මහ රෝහල් ඇතුළු මහ රෝහල් සහ මූලික රෝහල් බොහෝමයක් නිලධාරි හිඟය මත සේවා අඩාල වීමට නියමිත බවද වාර්තා වේ.



මේ කරුණු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලු නිලධාරීන් වෙත පසුගිය මාස අටක් තිස්සේ ලිඛිතව සහ වාචිකව දැනුවත් කලත් මේ දක්වාම ඒ පිළිබඳව කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැවසේ.

පෙට් ස්කෑන් පරීක්ෂණ මගින් පිළිකා රෝගියකුගේ පිළිකා සෛල වර්ධනය වී ඇති ප්‍රමාණය, පැතිරුණු ප්‍රමාණය නිරීක්ෂණය කෙරෙන අතර ඉන් පිළිකාවේ වර්ධනය හඳුනා ගැනීමට උපකාරි වේ. මෙම පරීක්ෂණය පෞද්ගලික අංශයෙන් කරන්නේ නම් රුපියල් රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක් වැය වන බවද පැවසේ.