kidney-issue-child-death

වකුගඩු රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තුන් හැවිරිදි දරුවාගේ වම් වකුගඩුවේ රෝගී තත්ත්වයක් තිබූ නමුත් දකුණු වකුගඩුව කිසිදු අසාමාන්‍යතාවකින් තොරව නියමිත ස්ථානයේ පිහිටා තිබූ බව එම දරුවාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇතැයි

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ ඊයේ (31දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අධිකරණය හමුවේ පැවැති සාක්‍ෂි විභාගයේදී විශේෂඥ වෛද්‍යවරයා එසේ පැවැසීය. වකුගඩු රෝගී තත්ත්වය හේතුවෙන් එම දරුවා 2021 වසරේ සිට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් විටින් විට ප්‍රතිකාර ලබාගත් බවත් ඊට අදාළව රිජ්වේ රෝහලෙන් හා පෞද්ගලික රෝහල්වලින් අවස්ථා කීපයකදී කළ පරීක්‍ෂණවලදී දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වයේ අඩුවක් තිබෙන බව එම පරීක්‍ෂණ වාර්තාවලින් හෙළිවී ඇති බවත් වෛද්‍යවරයා දන්වා සිටියේය.



ඒ අනුව දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට නවයක් හා දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට අනූ එකක් වශයෙන් පෙන්නුම් කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මෙම මස 5 වැනිදා දක්වා කල් තැබූ මහෙස්ත්‍රාත්වරිය එදිනට අධිකරණය හමුවට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් සාක්‍ෂි දෙන ලෙසද විශේෂඥ වෛද්‍යවරයාට නියෝග කළාය.

දරුවාගේ මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කරන විමර්ශනවලට අමතරව මේ පිළිබඳව ස්වාධීන විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය විමසිය යුතුව ඇති බවද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය පෙර නඩුවාරයේදී පැමිණිලි පාර්ශ්වය හා අගතියට පත් පාර්ශ්වය වෙත දන්වා තිබිණි.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පැහැදිලි විමර්ශන කරන ලෙසද මහෙස්ත්‍රාත්වරිය බොරැල්ල පොලිසියට නියෝග කර තිබිණි.

එම දරුවාගේ එක් වකුගඩුවක් ඉවත් කළ යුතුව ඇති අවස්ථාවකදී සෙසු වකුගඩුව කැඩී ගියේ කෙසේද යන්න පිළිබඳව අපැහැදිලිතාවක් පවතින බවද මහෙස්ත්‍රාත්වරිය පෙර නඩුවාරයේදී අධිකරණයේදී පැවැසුවාය.



ශල්‍යකර්මයේදී සිදුවූ වැරැදීමක් හේතුවෙන් එක් වකුගඩුවක් ඉවත්ව ඇති බවට රෝහල් අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කරන නමුත් එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් වීම අපැහැදිලි කාරණයක් බවද අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයකු මෙන්ම වෛද්‍යවරයකුද වන වයි.එල්.එම් යුසුප් මහතා අධිකරණය හමුවේ පවසා තිබිණි.

මෙම ශල්‍යකර්මය 2023 පෙබරවාරි මාසයේ කිරීමට නියමිතව තිබී ඇති නමුත් මීට පෙර මෙම ශල්‍යකර්මය ඊට පෙර කළේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබඳව අපැහැදිලිතාවක් පවතින බවද නීතිඥවරයා පවසා තිබිණි.

කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි ෆස්ලිම් නමැති තෙහැවිරිදි දරුවාගේ මියයෑමේ සිද්ධිය සම්බන්ධ නඩුවට අදාළව දරුවාගේ පියාගෙන් හා මවගෙන් මීට පෙර සාක්‍ෂි ලබාගැනීමද සිදුවිය.

දරුවාට සැත්කම කළ වෛද්‍යවරයා අදාළ සැත්කමෙන් පසු විදේශ ගතව ඇති බවට තම පවුලේ අයට තොරතුරු ලැබුණ බවද පසුගිය නඩුවාරයේදී එම සිද්ධිය සම්බන්ධයෙන් සාක්‍ෂි ලබාදෙමින් මියගිය දරුවාගේ මව අධිකරණය හමුවේ පවසා තිබිණි.

(කුමුදු උපුල් ශාන්ත)