
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නව පර්යන්තය ඉදිකිරීමේ වැඩබිමට විදුලිය ලබා ගැනීම සඳහා රැගෙන විත් තිබුණු රුපියල් ලක්ෂ 07ක තඹ වයර් කපා සොරාගැනීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගුවන්තොටුපොළ පොලිසිය ඒ සම්බන්ධයෙන් සැකපිට සිවු දෙනකු පෙරේදා (04) අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිකිරීම් කටයුතුවල නිරත සමාගමේ වැඩ පරීක්ෂකවරයකු, ආරක්ෂක නිලධාරියකු, කම්කරුවකු සහ සොරාගත් වයර් තඹවලට මිලදී ගත් පරණ යකඩ බඩු වෙළෙන්දකු අත්අඩංගුවටගත් සැකකරුවෝ අතර සිටිති.
මෙම තඹ වයර් සොරා ගැනීම සිදුව ඇත්තේ පසුගිය 03 වෙනිදාත් ඊට පෙර දින කිහිපයකදීත් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. තඹ වයර් රෝලකින් ටික ටික කපමින් මෙම සොරකම සිදුකර ඇති බව පොලිසිය කියයි.
සොරාගන්නා තඹ වයර් ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පන්නා ඇත්තේ වැඩ පරීක්ෂකවරයා ඔහු පැදවූ වාහනයේ දමාගෙන බවද අනාවරණය වී ඇත.
පරණ යකඩබඩු වෙළෙන්දා සීදූව ලියනගේමුල්ලේ පදිංචි අවුරුදු 20ක් වයසැති අයකි. ඔහු සතුව තිබී සොරාගත් වයර්වලින් මතුකරගත් තඹ කම්බි කොටසක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
සෙසු සැකකරුවන් දෙහිඕවිට, බෙලිඅත්ත සහ දේවාලේගම පදිංචිකරුවන්ය. ඔවුන්ව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ගයාන් කුමාර වීරසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval