යාපනය තාවඩි ප්‍රදේශයේ නිවෙසකට පෙරේදා (16 වැනිදා) එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් නිවෙසේ සිටි මව, පියා, පුතා සහ දියණියන් දෙදෙනකු පිලිස්සුම් තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි චුන්නාකම් පොලීසිය පවසයි.එම ප්‍රහාරය එල්ල කළ බව කියන තරුණයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.එම නිවෙසට මුහුණු ආවරණය කරගෙන එක් වරම පැමිණි පිරිසක් නිවෙසේ දේපළවලට ද හානි කර, නිවැසියන්ට ද පහරදී, පසුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කර, පලා ගොස් ඇතැයි පොලීසිය කියයි.



යතුරුපැදි කිහිපයකින් පැමිණ නිවෙසේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වූ පිරිස නිවෙස අසල නවතා තිබූ ත්‍රිරෝද රථයකට ද පහරදී, හානි කර ඇති බව පොලීසිය සඳහන් කරයි.එම ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට චුන්නාකම් පොලීසිය පරීක්ෂණ පවත්වයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, එම නිවෙසේ තරුණියක තරුණයකු සමග ඇති වූ ප්‍රේම සම්බන්ධතාවක් නතර කිරීම හේතුවෙන් එම පෙම්වතා ඇතුළු පිරිසක් පහරදීම කර ඇති බවය.අත්අඩංගුවට ගත්පිරිස  යාපනයමහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. චුන්නාකම් පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
රොමේෂ් මධුෂංඛ