ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටාගේ පැන යෑමේ උත්සාහයට උදවු උපකාර කර අනතුරුව පලාගිය පොලිස් කොස්තාපල්ගේ මව සහ මස්සිනා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි. අත්අඩංගුවට ගත් කාන්තාව හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද දැන ගන්නට ඇත.



ඊට අමතරව හරක් කටා නමැත්තාට සෘජුවම උදව් උපකාර කළ බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම කොස්තාපල්වරුන් දෙදෙනා සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගත කර ඇතැයි ද මේ වනවිට අනාවරණය වී ඇති අතර දානමය පින්කමකට සහභාගි වී ඇත්තේ හරක් කටා ලබාදුන් බෙන්ස් රථයකින් බවට ද අනාවරණය වී ඇත. මෙම කොස්තාපල්වරුන් දෙදෙනාට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් කිහිප දෙනෙක් මෙන්ම දේශපාලනඥයන් කිහිප දෙනකු ද හරක් කටාගේ පලා යාමේ කුමන්ත්‍රණයේ තිරය පිටුපස කොටස්කරුවන් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.



කොස්තාපල්වරයා විදේශ රටකට පලා ගොස් ඇති බවට හැඟවීම සඳහා නොයෙක් ක්‍රම මඟින් උත්සාහ ගත්ත ද ඔහු එලෙස පලා ගොස් නැති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. කොස්තාපල්වරයා පලා යෑමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රථ ගාලේ තිබු යතුරු පැදියක් සහ ආරක්ෂක හිස් වැසුම් දෙකක් ද පොලිසිය විසින් සොයාගනු ලැබීය. හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා යාම සඳහා පැමිණි බව කියන මෝටර් රථය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.එම මෝටර් රථය අද හෙටම පොලිස් භාරයට ගැනීමට හැකිවනු ඇතැයි එම නිලධාරියා කීය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ