ආණ්ඩුව ලෙස කවුරුන් පත්වුණත්, කවුරුන් ජනාධිපති වරුන්, අගමැතිවරුන්, කැබිනට් මණ්ඩලය ලෙස පත් වුවත් මාසිකව වැටුප්, විශ්‍රාම වැටුප් සහ සහනාධාර ගෙවීමෙන් අනතුරුව ඉතිරි කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව පළමුවෙන්ම විසදාගත යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17) පැවසීය.



පසුගිය වසරේ (2022) සමස්ත ලාංකීය ජනතාවගෙන් ලැබුණු බදු ආදායම රුපියල් බිලියන 1,751 න් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රුපියල් බිලියන 1,265 ක් වැය කර ඇති බවත් එය සමස්ත බදු ආදායමෙන් සියයට 72 ක් මෙන්ම සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් බිලියන 506 ක් වැය වීමත් සමග බදු ආදායම අවසන් බවත්ය.

බදු ආදායම බිලියන 1,751 ට වඩා වැඩි කරගැනීම සඳහා වැඩිපුර බදු පණවන්නේ කුමන අංශවලට ද යන්න විපක්ෂයේ 'චූටි මල්ලිලා'ගෙන් විමසිය යුතු බව කී අමාත්‍යවරයා රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් නොගෙවා සිටිය හැකිද?

සමෘද්ධි දීමනා කපා හැරිය හැකිද?  විමසීය. මීට අමතරව රාජ්‍ය ණය සඳහා පොලී ලෙස බිලියන 1500 ට වඩා වැඩි ප්‍රමාණයක් ගෙවිය යුතු බව ද සඳහන් කළේය. රුපියල් කෝටි 46 ක් වැය කරමින් සංවර්ධන කරන යටියන්තොට ගරාගොඩ පාලමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේ දී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.
යොහාන් භාසුර