gotabaya-house-bus-fire-man

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවස අසල පසුගිය වසරේ මාර්තු 31 වනදා සිදුවූ කලහකාරී සිදුවීම අතර යුද හමුදා බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරු
වසරකුත් මාස 5 කට පසු මහියංගණයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මීට ඉහත පසුගිය වසරේ මැයි 19  වනදාද ගංගොඩවිල පුද්ගලයෙකු මේ වරදටම අල්ලාගෙන තිබුණි.

මහියංගණයෙන් අල්ලාගත් සැකකරු  සිය බිරිඳ සමග මාලබේ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිවී සිටින අතරතුරදී එම ස්ථානයට ඇයද කැටුව ගොස් විරෝධතාව දක්වන අතර ගිනි තැබීම කළ බවට ඔහු පිළිගත්තේ යයි පොලිසිය පවසයි.
33 හැවිරිදි මහියංගණේ  පූජා පිටිය  පදිංචි සැකකරු ‘අවශ්‍ය සැකකරුවෙකු‘ බවට මාධ්‍ය මගින් තොරතුරු පළවීමෙන් පසු ගමට ගොස් සැඟව සිටි බව ඔහු පවසන ලද්දේ යයිද පොලිසිය පවසයි.


සැකකරු අද (02) ගංගොඩවිල වැඩබලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර ඔහු වෙනුවෙන් කිසිඳු නීතීඥවරයෙක් පෙනී නොසිටී බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවස අසල ඉකුත් වසරේ සිදුවූ කලහකාරී සිදුවීම අතරතුරදී මෙම සිද්ධිය ඇතිවී තිබුණි.

කෙසේ වෙතත් පසුගිය වසරේ මැයි 19 දා පොලිසිය නිවේදනය කර තිබුනේ එම වරද කළ පුද්ගලයා අල්ලා ගත් බවයි.
ගංගොඩවිල ස්පෙයාර් පාර්ට් කඩයක වැඩ කරන 42 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මෙලෙස හසුවූ බවද  එකල ප්‍රවෘත්ති නිවේදනයක දැක්වුණා.


මේ කොටුකරගැන්ම සඳහා ජනතාව ලබාදුන් සහයටද පොලිසිය එකල ස්තූති කර තිබුණි.

මින් ඉහත තොරතුරු පළව තිබුනේ මෙම බස් රථය ගිනි තැබුවේ ‘ඇවන්ගාර්ඩ් බිත්තර කල්ලියේ‘ පුද්ගලයෙකු බවටය. ඒ දිනවල ජනපති මාධ්‍ය නිවේදනයක දක්වා තිබුනේ අරාබි වසන්තය අනුව මතුවූ කලබලයෙන් මෙම බසය ගිනිගත් බවයි.ඒ ඔස්සේ යමින් ගින්න ඇති කළේ අරාබි වසන්ත යයිද කථා හැදිණි.