football-coach-death

ඉත්තෑවෙකුට තුවක්කුවකින් පහර‍දුන් පාපන්දු පුහුණුකරුවෙකු එම තුවක්කුව පත්තු වීමෙන් මියයාමේ සිදුවීමක් කුලියාපිටිය - මාදම්පේ දුම්මලසුරිය පොලිස් වසමට අයත් කොවුල් වැව ගම්මානයෙන් වාර්තා වේ.
මියගිය පුද්ගලයා දුම්මලසුරිය ඇතුන්ගහ කොටුව ප්‍රදේශයේ තිදෙනෙකු සමඟ දඩයමේ යාමේ දී මේ සිදුවීම වී තිබේ.
වෙඩි වැදීමේ  සිදුවීමට පෙර ඔවුන් වෙඩිල්ලක් තබා ඇති නමුත් එහිදී සතෙකු මරා ගැනීමට නොහැකි වී තිබේ.


ඒ අනුව වෙනත් ස්ථානයකට යාමේ දී ඉත්තෑවෙකු දැක ඇති අතර එහිදී මියගිය පුද්ගලයා තුවක්කුවෙන් ඉත්තෑවාට පහර දීමේදී තුවක්කුව පත්තුවී තිබේ.මියගිය පුද්ගලයා රටේ නම ගිය පාපන්දු පුහුණුකරුවෙකු වන අතර තුවක්කුව ද ඔහුගේ බව
වාර්තා විය.
මෙලෙස මියගොස් ඇත්තේ පන්නල ඇලබඩගම බම්මන පදිංචි වන එම්. එච්. එම්. රිකාස් (45) නමැති තිදරු පියෙකි.
දඩයමේ ගිය තිදෙනා තුවක්කුව සමඟ දුම්මලසුරිය පොලිසියට භාර වී මුළු සිදුවීම පිළිබඳ ප්‍රකාශ ලබා දී ඇත. ඔවුන්ගේ ප්‍රකාශවලට අනුව නීති විරෝධී දඩයමේ යාමේ පල විපාක ලැබුණ බව පවසා තිබේ.

කොවුල්වැව ප්‍රදේශයේ රජයට අයත් වතු කීපයක් තිබෙන අතර මේ වතුවල මුවන්, ඉත්තෑවන්, වල් ඌරන්, මොනරුන් වැඩි වශයෙන් ජිවත් වන අතර ඉකුත් සතියේ දින කීපයක් වන අලි ද මේ ප්‍රදේශයේ දකින්න ලැබිණි.



මේ සිදුවීම සම්බන්ධයෙ දුම්මලසුරිය පොලිසිය කුලියාපිටිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබිණි.