dhanushka-assault-verdict-looms-for-star-sri-lankan-batter

ඔස්ට්‍රෙලියානු ජාතික කාන්තාවක නිවසක් තුළදී ලිංගික අපයෝජනයකට ලක්කිරීම සම්බන්ධ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව වසරකට ආසන්න කාලයක් පැවති නඩුවේ තීන්දුව අද(28) සිඩ්නි නුවර ඩව්නං සෙන්ටර් දිසා අධිකරණයේදී විනිසුරු සාරා හගෙට් ප්‍රකාශයට පත්කළ අතර ධනුෂ්ක ගුණතිලක සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළාය.


ඇයගේ පැහැදිලි කිරීම අනුව මෙය බලහත්කාර අපයෝජනයක් ලෙස නම් කළ නොහැකි බවටත් සංසර්ගය පුරුෂයාගේ හා ස්ත්‍රියගේ කැමැත්ත මත සිද්ධවී තිබියදී කොන්ඩමයක් ඉවත් කිරීම හෝ නොකිරීම ගැන ප්‍රශ්නයක් බවට නඩු විභාගය ලඝුවූ බවත් පවසා තිබේ. ඒ අනුව “එම සංසර්ගය අඛණ්ඩව පැවති නිසා විත්තිකරුට සංසර්ගයේදී කොන්ඩමය ඉවත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව සාක්ෂිවලින් තහවුරු වෙනවා,” විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශ කරමින් කියා සිටියාය.
මෙම නඩු විභාගයේ අවසන් කොටස පසුගිය සතියේ දින 4 ක් තිස්සේ විභාගවූ පසු 28 (අද) තීන්දුව ලබාදෙන බව දන්වා තිබුණි.


‘ලිංගික අපචාරයක් සිදු කළ බවට ශ්‍රී ලාංකික ජාත්‍යන්තර පිතිකරු වරදකරු නොවන බව ප්‍රකාශ කළ හැකියි.‘
විනිසුරු සාරා හගෙට් 32 හැවිරිදි ඔහු නිදොස් කොට නිදහස් කරමින් බ්‍රහස්පතින්දා සිඩ්නි ඩව්නිං සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේදී තීන්දුව  ලබාදුන්නාය.
වින්දිත කාන්තාව, හිතාමතා බොරු සාක්ෂි ලබා නොදුන් නමුත් ක්‍රිකට් ක්‍රීඩකයාට අවාසිදායක ලෙස කරුනු ගොනු කිරීමේ ආශාවෙන් පෙළඹුණු බුද්ධිමත් සාක්ෂිකරුවෙකු බවද විනිසුරුවරිය පැවසුවාය.

“පැමිණිල්ලට අදාළ සාක්ෂි පැමිණිලිකරුට සහාය නොදක්වන බව මට පෙනී යයි. ඒ වෙනුවට එය ඇගේ සාක්ෂිවල විශ්වසනීයත්වය අඩපණ කරයි, ”ඇය පැවසුවාය.

ඇයගේ තට්ටම් වලට පහර දීම, බලහත්කාරයෙන් සිප ගැනීම සහ ඇගේ තොල් තැලීම, ලිංගික සංසර්ගයේදී ඇයව හුස්ම හිර කිරීම වැනි විවිධ ආක්‍රමණශීලී සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කාන්තාව ඔහුට චෝදනා කර තිබුනි.

සිඩ්නි පොලිසිය විසින් ඉකුත් වසරේ නොවැම්බර් මස හයවන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලය තුළ දී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
සිඩ්නිහි පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක දින 11කට ආසන්න කාලයක් රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක ඉකුත් නොවැම්බර් මස 17 වෙනිදා දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබුවේ ලංකාවට ඒමද තහනම් කරමිනි.
ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩුව නැගෙනහිර සිඩ්නි නුවර පිහිටි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය හමුවේ සලකා බැලු අවස්ථාවේ දී එරට රජයේ නීතිඥයින් විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව එල්ලකර තිබූ ලිංගික අපයෝජන චෝදනා හතරෙන් චෝදනා තුනක් ඉවත් කර ගැනීමට කටයුතු කරන ලදී.
එසේ වුව ද, කාන්තාවගේ කැමැත්තකින් තොරව අනාරක්ෂිත ලිංගික ක්‍රියාවක නිරතවීම සම්බන්ධයෙන් චෝදනාවක් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර තිබුණි.
එම චෝදනාවට ඔහු නිවැරදිකරු බව ධනුෂ්ක ගුණතිලක ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය සැප්තැම්බර් 18 වෙනිදා ආරම්භ කර අද දින අවසන් විය.
නීතීඥ මුරුගන් තංගරාජ් ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටියේය.
නඩු විභාගය නිසා ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කිරීමට හෝ ඔහුගේ උපන් රට වන ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වූ නමුත් මෙම තීන්දුවත් සමග ඔහුට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසෙනු ඇත.

මෙම නඩු විභාගයේ නීතීඥයින්ට හා වසරකට ආසන්න කාලයක් ධනුෂ්කගේ සිඩ්නි රැඳී සිටීම වෙනුවෙන් සියලු ගාස්තු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරනු ලැබීය.