
සීදුව කිරිඳිගොඩ ප්‍රදේශයේ දඬුගම් ඔය ඉවුරට ගොඩගසා තිබූ නිල් පාට සුට් කේසයක දැමූ තරමක් නරක්ව ගිය පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් ඉකුත් 15 දින සොයාගත් බව සීදුව පොලීසිය පවසයි.119 හදිසි ඇමතුම් අංකයට ලද ඇමතුමක් මත මළසිරුර සොයා ගැනීමට හැකිවූ බව සීදුව පොලීසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ ලුම්බිනි මාවත, කුඩාවැව ලිපිනයේ පදිංචි සිටි ඇටම්පල ආරච්චිගේ සුසන්ත රන්ජන් රණසිංහ (අවු.35) නමැත්තකු බව පොලීසිය පවසයි. මියගොස් ඇති පුද්ගලයා රැකියා සඳහා විවිධ පුද්ගලයන් රට යවන බව පවසමින් විවිධ තරාතිරමේ පුද්ගලයන් රැසකගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති පුද්ගලයකු බවට චෝදනා ලබා ඇති බව සීදුව පොලීසිය පවසයි.
විවිධ චෝදනා රැසක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මෑත කාලයේ ඔහු තම පදිංචි ප්‍රදේශයෙන් අතුරුදන්ව සිට ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර පරීක්ෂණ කටයුතුවලදී හෙළිව ඇත. දඬුගම් ඔය කිරිඳිගොඩ පාලම යට සූට් කේසයක බහා තිබූ මළසිරුරේ හිස සහ තවත් තැන්වල පහර දීමකින් ලද බරපතළ තුවාල දක්නට ලැබුණ බවද පොලීසිය සඳහන් කරයි.
වයස 35ක් පමණ විය හැකි දිගු කොණ්ඩයක් සහිත මියගොස් ඇති පුද්ගලයා දුඹුරු පැහැති කලිසමක් හා කළු පැහැති ටී ෂර්ටයක් ඇඳ සිටි බව පොලීසිය කියයි.
පශ්චාත් හදිසි මරණ පරීක්ෂණය සඳහා මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. සීදුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධනුෂ්ක බණ්ඩාර මහතාගේ මෙහෙය විම මත පොලිස් නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කරයි.
ජාඇල -තිස්ස කොටින්කඩුව / මීගමුව - බර්ටි වීරසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval