
බේරුවල කොට්ඨාස අධ්‍යාපන කාර්යාල බලප්‍රදේශයේ මග්ගොන අල් හසනියා මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පතිවරයා 3 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දරුවා සිසුන් අතර පවත්වන විෂය පරීක්ෂණයකින් ලකුණු 40ට අඩුවෙන් ලබා ගැනීම හේතුකොටගෙන පන්ති කාමරයෙන් හා පාසල් ගේට්ටුවෙන් එළියට දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (07දා) මග්ගොන අලුත්හෙන ප්‍රදේශයේ පදිංචි සිසුවාගේ පියා බේරුවල පොලීසියට පැමිණිලි කර තිබේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් එම සිසුවාගේ පියා ඊයේ (07දා) දහවල් පාසලට අනවසරයෙන් ඇතුළු වී සිසුවා සමග ඇවිත් තමන්ට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කළ බව පවසා විදුහල්පතිවරයාද බේරුවල පොලීසියට පැමිණිලි කළ බව බේරුවල පොලීසිය සදහන් කරයි.
මෙම පාසලේ ප්‍රාථමික පන්තිවල ඉගෙන ගන්නා සිසුන්ගේ විෂය දැනුම මැන බැලීම සදහා ඒ ඒ ශ්‍රේණි වෙනුවෙන් පවත්වන පරීක්ෂණවලින් ලකුණු 40ට අඩුවෙන් ලබාගත් සිසුන්ගේ දෙමාපියන්ට පාසලට පැමිණෙන්නැයි දැනුම් දී තිබූ අතර සිද්ධියට මුල් වූ මෙම සිසුවාගේ පියාට ද අද දින පාසලට පැමිණෙන්නැයි දන්වා තිබූ අතර ඔහු පාසලට පැමිණ නොතිබූ අතර ඒ හේතුවෙන් මෙම සිසුවා පන්ති කාමරයෙන් සහ පාසල් ගෙට්ටුවෙන් පිටමං කර තිබේ.
පසුව සිසුවා අඬමින් අසල වෙළෙඳ සැලක් අසල සිටියදී ඒ පිළිබඳ වෙළෙඳ සැල් හිමියා එම සිසුවාගෙන් විමසා පසුව පියාට දුරකථනයෙන් කළ දැනුම් දීම මත පැමිණ දරුවාද සමග විදුහල්පතිවරයා අසලට ගොස් එලෙස කළේ ඇයි දැයි විමසා තිබේ.
පසුව දෙදෙනා අතර කතාබහක් ඇති වී තිබෙන බවත් ඒ අනුව දෙපාර්ශ්වයම බේරුවල පොලීසියට පැමිණිලි කර තිබේ.
ලකුණු අඩුවෙන් ලබා ගත් සිසුන් පන්ති කාමරයෙන් පිටමං කිරීමට අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝගයක් කර තිබේ දැයි විදුහල්පතිවරයාගෙන් පොලීසිය විමසා ඇත.
බේරුවල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය, විවිධ පැමිණිලි අංශය සිද්ධිය පිළිබඳ විමර්ශන සිදු කරයි.
අලුත්ගම තුසිත කුමාර ද සිල්වා
Comments
Post a Comment
Your comment will be visible after approval