UK-girl-dies-after-falling-from-13-floors-of-an-apartment-in-Mt.-Living-Together-boyfriend-arrested

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ‘‘බ්ලූඕෂන්‘‘ සුඛෝපභෝගී මහල් නිවාසයේ 13 වන මහළේ නිවාස ඒකකයක සිට පහළට වැටී  මියගිය තරුණියකගේ මළ සිරුරක් සෙනසුරාදා (9) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි. ශ්‍රී ලාංකික සම්භවය ඇති බ්‍රිතාන්‍ය පුරවැසිකම සහිත ඇය  මීට කලකට පෙර ලංකාවට පැමිණ පෙම්වතෙකු හා එක්ව වාසය කරමින් සිටින අතරතුර මෙම සංසිද්ධිය සිදුව ඇති බවත් මෙය ඝාතනයක් විය හැකි බවත් පොලිසියට සැකයක් මතුව තිබේ.

තොරතුරු සොයා ගිය පොලිසියට මෙම තරුණිය ස්විට්සර්ලන්තයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටි එංගලන්තයේ පදිංචි අයෙකු බවත් ලංකාවට පැමිණ ඇත්තේ පසුගිය මාර්තු මස බවත් පසුදින එනම් 10 ඉරිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යළි එංගලන්තයට යාමට සිටි බවත් සොයාගන්නට හැකිව තිබේ.


ෆේස්බුක් හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයෙකු ඇය හඳුනාගෙන දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවත් ඔහුගේ ඉල්ලීමක් අනුව ලංකාවට පැමිණ මාස 6 ක කාලයක් මෙම නිවාස ඒකකය මිලයට ලබාගෙන ඇය නැවතී සිටි බවත් තොරතුරු අනාවරණය වී ඇත.
අන්තර්ජාලය හරහා වෙන් කරගන්නා ලද ගල්කිස්ස අල්විස් මාවතේ පිහිටි නිවාස ඒකකයේ ඇය පෙම්වතා සමග වාසය කර ඇති බවටද තොරතුරු අනාවරණය විය.
සෙනසුරාදා (09) අළුයම් කාලයේ දී නිවාස ඒකකය දෙසින් කිසියම් ශබ්ද ඇසුණ බවත් දෙන්නා අතර බහින්බස්වීම් ඇසුණ බවත් අසල්වාසීන් සාක්ෂි ලබාදී ඇත.
ඉරිදා (10) දින ඇය නැවතත් එංගලන්තය බලා යාමට නියමිතව තිබුණු අවස්ථාවක අද අලුයම දෙදෙනා අතර බහින්බස්වීම කවර කාරනාවක් මත පැනනැගුනාදැයි පැහැදිලි වී නැත.


සෙනසුරාදා (09) අලුයම 2.40 ට පමණ13 වන මහලෙන් බිමට වැටී මියගොස් තිබියදී ඇගේ සිරුර හමුවිය.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ  27 හැවිරිදි සින්නයියා අලගේෂ්වරන් රොමීනා නමැති තරුණියකි. ඇය ස්විට්සර්ලන්තයේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින ශ්‍රී ලාංකික සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව වාර්තාවේ.
මේ වසරේ මාර්තු 08 වන දින දිවයිනට පැමිණි බවට ඇගේ ලිපි ලේඛන සාක්ෂි ලැබී ඇත.
29 හැවිරිදි පෙම්වතා තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පවසන්නේ මරණය දැන ගත්තේ පසුව බවයි.
මියගිය තරුණිය සමග  සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පෙම්වතා ඇයව තල්ලුකරාද නැතිනම් ඇය ඉහළ සිට පැන්නාද යන්න තවම අනාවරණය නොවේ.
පෙම්වතා පොලිසියට පැවසුවේ උදේ පාන්දර ඔවුන් අතර ගැටුමක් ඇති වූ බවත් තමා අවදිවී බලන විට ඇය මියගොස් ඇති බවට ආරංචි ලැබුණ බවත්ය.ඇය අතුරුදහන් වී ඇති බව දැනගත් පසු තමා ඇයව සෙවූ බවත් පසුව ඇයගේ සිරුර මහල් නිවාස ඒකකයෙන් පිටත බිම වැටී තිබෙනු තමා දුටු බවත් ඔහු පැවසීය.
ඔහු ඊයේ රාත්‍රියේ නින්දට යාමට පෙර අවම වශයෙන් බියර් ටින් 6ක් පානය කර ඇති බවද පොලිසියට අනාවරණය විය.
ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත් රත්නා ගමගේ  මහේත්‍රාත් පරීක්ෂණ පැවැත් වූවාය. ගල්කිස්ස පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදුකරයි.