
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබූ පසුගිය මාර්තු මස 9 වැනිදා නියමිත පරිදි එය නොපැවැත්වීමෙන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන්නැයි ඉල්ලමින් මතුකළ විරෝධතා ප්‍රතික්‍ෂේප කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීමට ඊයේ (04දා) තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරේරාජා,ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් එලෙස නියම කළේය.
සමගි ජන බලවේගයේ මහලේකම් පාරිලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශන රාජකරුණා යන මහත්වරුන් විසින්ද, ජාතික ජන බලවේගය වෙනුවෙන් එහි පාරිලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් විසින්ද, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින්ද අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
පළාත් පාලන ආයතනයක නිල කාලය අවසන් වීමෙන් අනතුරුව ඒවායේ බලය කොමසාරිස්වරයකු හෝ පළාත් පාලන ආයතනයේ ලේකම්වරයා යටතට පැවරීම සාමාන්‍ය නීතිමය ක්‍රියා පටිපාටිය බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එසේ වුවත් එම තත්ත්වය උල්ලංඝනය කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගිය මැයි 09 වැනිදා ලිපියක් නිකුත් කරමින් නිල කාලය අවසන් වී ඇති පළාත් පාලන ආයතනවල බලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වෙත පැවරීමට යෝජනා කර ඇතැයි පෙන්වා දෙති.
පළාත් පාලන ආයතන පනතේ විධි විධානයන්ට අනුව එම ආයතනවල බලය මෙවැනි කමිටුවකට පැවරීමට නීතිමය ඉඩකඩක් නොමැති බවත්, මෙය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්, පෙන්වා දෙන පෙත්සම්කරුවෝ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කළ අදාළ ලිපිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.
මෙම පෙත්සම් විභාගය අවසන් වනතුරු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පසුගිය මැයි 09 වැනිදා නිකුත් කළ ලිපිය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.
පෙත්සම සම්බන්ධයෙන් මුලික විරෝධතා මතු කරමින් පෙත්සම නිෂ්ප්‍රභ කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එම මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේය. පෙත්සම් විභාගය 2024 වර්ෂයේ පෙබරවාරි මස 14 වැනිදා පැවැත්වීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ බව දැනුම් දෙමින් දෙපාරිශ්වයටම නොතීසි නිකුත් කළේය.
බුද්ධිමාල් රුබේරු
Comments
Post a Comment
Your comment will be visible after approval