narammala-girl-school-incident

පාසලේ මිතුරියන් සමග ඇතිකරගත් අමනාපයක් මත කුරුණෑගල නාරම්මල විදුහලක සාමාන්‍ය පෙළ සිසුවියක  ඇගේ මිතුරියන්ගේ ජල බෝතල්වලට වස මිශ්‍ර කර  ඒවා පානය කිරීමෙන් පසු එම වස මිශ්‍ර කළ බව කියන සිසුවිය සහ සිසුවියන් 5 දෙනකු  රෝහල්ගත කිරීමේ සිදුවීමක් වාර්තාවේ.

මෙම විදුහලේ පෙරේදා (14) උදෑසන රැස්වීමෙන් අනතුරුව 10 වැනි ශ්‍රේණියේ සිසුවියන් 6 දෙනකු එක්වරම රෝගාතුර වීම නිසා නාරම්මල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පාසල් බලධාරීන් පියවර ගෙන තිබූ අතර ඇතිවූ සිද්ධියට හේතු පසුව අනාවරණය විය.මෙම සිසුවියගේ හැසිරීම විදුහලේ සීසීටීවී කැමරාවල ද සටහන් වී ඇති අතර සිසුවියන් පානය කළ ජල බෝතල්වලට යම් විෂ ද්‍රව්‍යයක් එක් වී ඇති බව රෝහලේදී හෙළි වී තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය එම පාසලේ එක් සිසුවියක පන්තියේදී කොන් කිරීම නිසා ඇය මෙලෙස ජල බෝතල්වලට වස දමා ඇය ද වස පානය කර ඇති බව හෙළිකරගෙන ඇත.

රෝහල්ගත කර සිටි සිසුවියන් ප්‍රතිකාර ලබා ඊයේ (15 වැනිදා) දහවල් පිටව ගිය බවද වස මුසු කළ සිසුවිය හා එම වස සහිත ජලය පානය කර රෝහල්ගත කළ සිසුවියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය පවසයි.



සැකකාර සිසුවිය පාසලේ පෙරේදා උදෑසන පැවැති රැස්වීමට සහභාගි නොවී, පන්ති කාමරයේ රැඳී සිට, සිසුවියන් කිහිප දෙනකුගේ පානීය ජල බෝතල්වලට යමක් මිශ්‍ර කර ඇති බව අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය කියයි.

පාසලේ සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සිසුවිය හඳුනාගෙන තිබුණි. ඇය තම සමීපතම මිතුරියන් පිරිසකගේ පානීය ජල බෝතල්වලට යමක් මිශ්‍ර කිරීමෙන් පසුව වමනය ඇති වී, රෝගාතුර වූ සිසුවියන් පිරිස දැක බියට පත් එම දැරිය ද එම ජලය පානය කර ඇති බව කියැවිණි. එම විදුහලේ ශිෂ්‍ය නායක තනතුරක් සඳහා ඇති වී තිබෙන තරගයක් මත ඇයව කොන්කර තිබීම මෙම සිදුවීමට පාදක වී ඇති බව විදුහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

ජලයට මිශ්‍ර කළ දෙය එතරම් ප්‍රබල නොවීම හේතුවෙන් සිසුවියන්ගේ ජීවිතවලට අනතුරක් වී නැති  අතර කාර්ය භාර වෛද්‍යවරයකු සඳහන් කළේ පානීය ජලයට මිශ්‍ර කරන ලද රසායනය සියයට හතළිහක පමණ ප්‍රමාණයක අවම තත්ත්වයක පැවතීම හේතුවෙන් සිසුවියන්ගේ ජීවිතවලට අවදානමක් එල්ල නොවූ බවය. යම් හෙයකින් එහි අඩංගු එම ප්‍රමාණය ඉහළ මට්ටමක පැවතියා නම් තත්ත්වය මීට වඩා බරපතළ වන්නට ඉඩ තිබූ බව ද ඔහු පෙන්වා දුන්නේය.


සිසුවියන් හයදෙනා ඊයේ (15) දහවල් රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා විය.

නව යොවුන් තරුණ තරුණියන් තුළ ජීවිතය ගැන කලකිරීම් සහගත මනෝභාවයන් වෙනදාට වඩා වැඩි වර්ධනය වුණු තත්වයක් නිරීක්ෂණය වන බවත්, එවැනි වටපිටාවකින් අන්‍යයන්ට හිරිහැර කරන ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව මතුවීමට වැඩි ඉඩකඩක් පවතින බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය. නව යොවුන් තරුණ තරුණියන්ගේ මෙම පීඩනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ සමාජ බලපෑම් සහ අධ්‍යාපනය බිඳ වැටීම් යනාදී හේතු කාරණා බවද ඔහු සඳහන් කළේය.

උඩුයටිකුරුවී ඇති අධ්‍යාපන රටාව ද මෙම පීඩනය තවදුරටත් උත්සන්න කර ඇතැයි පැවසූ මනෝ වෛද්‍ය විශේෂඥවරයා අධික පීඩනකාරි තත්වය හමුවේ සමහරුන් පැත්තකට වී නිහඬව සිටියත් තවත් සමහරුන් ඊට ප්‍රතිචාර දක්වන්නේ කලහකාරි ආකාරයට බව ද සඳහන් කළේය.

ආවේග පාලනය කර ගැනීමේ නොහැකියාවද මෙවැනි සිද්ධීන්වලට තවත් ප්‍රධාන හේතුවක් බව පැවසූ රූමි රූබන් මහතා විශේෂයෙන්ම ජනමාධ්‍යවල ප්‍රචාරය වන ප්‍රචණ්ඩ ක්‍රියා අනුකරණය නිසාද මෙවැනි සිද්ධි ඇති විය හැකි බව පෙන්වා දුන්නේය.

ජනමාධ්‍යවල  ප්‍රචණ්ඩ ක්‍රියා නිතර  නිතර පළවීමෙන් එම සිද්ධි සමාජයේ සාමාන්‍යකරණයට ලක්වන බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා නව යෞවන යෞවනියන් තුළ පීඩනකාරි මනෝභාවයන් ඇතිවීම වැළැක්වීම සඳහා පරිසරයක් ඇති කිරිම වැඩිහිටියන්ගේ වගකීමක් බවද ප්‍රකාශ කළේය.අධ්‍යාපන රටාවද දරුවන්ට දැඩි පීඩනකාරි එකක් නොවිය යුතු බව ඔහු පැවසීය.