
මත්කුඩු චෝදනාවට මහාධිකරණයෙන් සැමියා බන්ධනාගාරගත කර සිටියදී වසර එක හමාරක පිරිමි දරුවා ඇකයේ තබාගෙන හෙරොයින් මත්කුඩු ජාවාරම් කළ කාන්තාවක අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි මෙම සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 5200 ක් පොලිසිය භාරයට ගෙන ඇත. එම සැකකාරියට පස් හැවිරිදි දැරියකද සිටින බව පොලීසිය කියයි. කහතුඩුව, කන්දකැටිය ප්‍රදේශයේ සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කහතුඩුව පොලිසියට ලද තොරතුරක් අනුව එම නිවස වටලා පොලිස් කාන්තාවක සැකකාරිය පරීක්ෂා කිරීමේදී තනපටේ සඟවාගෙන තිබූ මත්කුඩු සොයාගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරියගේ සහෝදරයා ද මත්ද්‍රව්‍ය චෝදනාවට මහාධිකරණය මගින් බන්ධනාගාරගත කර ඇති බව සඳහන්ය. සැකකාරිය සමග පොලිස් භාරයට ගත් වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවා සහ වයස අවුරුදු පහක ගැහැනු දරුවා පරිවාස භාරයට පත් කිරීම සඳහා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බිමල් ශ්‍යාමන් ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval