යුද හමුදා විශේෂ විමර්ශන ඒකකයේ කපිතාන්වරයකු බව පවසමින් දිවයිනේ විවිධ නගරවලට සිඟමනේ ගිය යුද හමුදාවෙන් පලා ගිය බව කියන කුඩු ජාවරම්කාරයකු පෙරේදා (13) දෙණියාය නගරයේ දී සම්මාදම් මුදල් 410 ක් සමග අත්අඩංගුවට ගත් බව දෙණියාය පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු (29) හැවිරිදි විවාහක හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත.

සැකකරු දෙණියාය බස් නැවතුම්පොළට පෙරේදා (13) උදෑසන 9.30 ට පමණ පැමිණ එහි පාලක හමුවී ගමන් සටන් පොතක් එම ස්ථානයේ යොදා එහි අත්සන් කොට යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ නම් එහි පාලකවරයාට පවසා මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු රැස් කිරීමට තමන් මාතර දිස්ත්‍රික්කයේ යොදවා ඇති බව කියමින් එහි පාලකවරයා නොමග යවා මෙම මුදල් එකතු කිරීමේ ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට හෙළි වී ඇත.

ඊට අමතරව ඔහු නාඳුනන රෝගී දරුවකුගේ ඡායාරූපයක් පෙන්වා ඇය සුවකර ගැනීමට විශාල මුදලක් වැය වන බව පවසා බස් රථවලට නැග සිඟමනයේ යෙදී ඇත්තේ බස් රථවල ජංගම වෙළෙඳාම සිදු කරන වෙළෙඳුන්ට ද ඉඩක් ලබා නොදී බව මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇත. සැකකරු හෙරොයින්, ගංජා සම්බන්ධයෙන් හබරාදූව, බොරලැස්ගමුව හම්බෙගමුව ආදී පොලිස් ස්ථානවලට අවශ්‍ය පුද්ගලයකු බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

සැකකරු මාතර ප්‍රදේශයේ හෝටලයක කුලියට කාමරයක් රැගෙන මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති අතර මේ වන විට අකුරැස්ස, මාතර, ගාල්ල, මිද්දෙණිය යන ආදී නගරවලට මේ අයුරින් ගොස් ජනතාවගෙන් මුදල් එකතු කර ඇති බවත් දිනකට රුපියල් 10000.00 12000.00 අතර මුදලක් ජනතාව නොමඟ යවා එකතු කරන බව මූලික පරීක්ෂණ වලින් හෙළි වී ඇති බව විමර්ශන සිදුකරන ඉහළ නිලධාරියෙක් පැවැසීය.