
ගාල්ල ඇල්පිටිය දිවිතුර වත්ත ප්‍රදේශයේ පාසලක හය වැනි ශ්‍රේණියේ සිසුන් 12 දෙනකුට ගුරුවරියක පහර දී එක් සිසුවියක රෝහල් ගතකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඇල්පිටිය පොලිසිය කියයි. පහර කෑමට ලක්වූ සිසුවිය ස්වසන ආබාධිත තත්ත්වයෙන් පෙළීම හේතුවෙන් දින 10කට වැඩි කාලයක් රෝහල් ගතවී සිට පෙරේදා (10) පාසල් යාම ආරම්භ කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. දරුවන්ගේ මවුපියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ පාසල් කාලය තුළ ගුරුවරිය ඇයගේ නිල නිවාසයේ විවේක ගනිමින් නිදාගෙන සිටියදී හයවැනි ශ්‍රේණියේ සිසුන් පෙරේදා (10) දහවල් නිල නිවසට ගොස් සංගීත පාඩම ගැන සිහිපත් කිරීම හේතුවෙන් උරණ වී ඇය බටයක් ගෙන දරුවන්ට අමානුෂිකව පහරදී ඇති බවය.
පහර කෑමෙන් රෝහල් ගතකර ඇත්තේ එකොළොස් හැවිරිදි සිසුවියකි.මේ සිද්ධියෙන් පසු දරුවන් හා මාපියන් ඇල්පිටිය පොලිසියට කළ පැමිණිල්ල අනුව දරුවන් හා මවුපියන් ඊයේ (11) උදේ 08 සිට පොලිසියේ පැමිණිලි විභාග කිරීමට ගියත් දහවල් 12.30 වන තෙක්ම එම ගුරුවරිය නොපැමිණීම හේතුවෙන් දරුවන් හා මවුපියන් බඩගින්නේම කාලය ගත කළ බවත් ඔවුහු කීහ.පොලිසියට පැමිණිලි කර ඇත්තේ රෝහල් ගත වූ දැරියගේ පියා වන එම්. මෝගන් මුරලි නමැත්තාය.
ඔහු මෙසේ පැවසීය. අපි පොලිසියට ඇවිත් පැය ගාණක් රස්තියාදු වුණා. දරුවන් මේ වන විටත් ගහපු පාරවල් කකුල්වල පිටුපස පිටේ ඇතුළු ශරීරයේ විවිධ තැන්වල තිබෙනවා. සමහර දරුවන්ට වැදිච්ච පහරවල් පෙන්නන්න බැරි තැන්වල තියෙනවා. මේ සම්බන්ධයෙන් එම පාසලේ ප්‍රකාශිකාවක පැවසුවේ ඔය සිද්ධිය සම්බන්ධයෙන් අසනීප තත්ත්වයෙන් දරුවෙක් රෝහල් ගත වෙලා. ඒ සිද්ධියත් එක්ක පොලිසියට පැමිණිල්ලක් කර ඇති නිසා ඒ පරීක්ෂණ ගැන පොලිසියෙන් අහන්න කියාය. ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පුබුදු මල්වර ආරච්චි මහතාගෙන් කළ විමසීමේදී හෙතෙම පැවසුවේ ඔය කියන සිද්ධිය සම්බන්ධ මම දැනගෙන සිටියේ නැහැ. දෙමාපියන්ට කියන්න මටත් පැමිණිල්ලක් කරන්න කියලා. මම වහාම ඒ ගැන සොයා බලනවා.
ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක අනුර විජේසිංහ මහතා සම්බන්ධ කර ගැනීමට පොලිසියට ගියත් එම අවස්ථාවේ ඔහු රජකාරි කටයුත්තක් සඳහා පිටත්ව ගොස් සිටි නිසා කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනියගෙන් අප විමසූ විට මේ සම්බන්ධව චෝදනා ලබා ඇති ගුරුවරියට දෙමළ භාෂාව පමණක් පුළුවන් සිංහල බැහැ. අපිත් අසරණ වෙනවා. ඒ භාෂාව පුළුවන් නිලධාරියකු සම්බන්ධ කරගෙන ඒ ගුරුවරියට කතා කළා. ඇය තව සුළු මොහොතකින් පොලිසියට එන බවත් පැවසුවා. අපි මේ ගැන පරීක්ෂණ කරනවා යැයි කීවාය.
ජනත් ද සිල්වා
Comments
Post a Comment
Your comment will be visible after approval