
නොසැලකිලීමත් ලෙස ගිනිකුරු දල්වා කුරුණෑගල ඇතුගල, කන්ද මුදුනේ ගින්නක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකපිට පසුගිය 19 වනදා යුවළක් අත්අඩංගුවට ගන්නා ලදි.
නාගොල්ලාගම පදිංචි 28 හැවිරිදි යුද හමුදා සෙබළෙකු හා ඔහුගේ පෙමිවතිය බව කියන මහනුවර වත්තේගම ප්රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක එම වරදට හසුවිය.
සිය පෙම්වතා දුම් පානයට ඇබ්බැහි වූ අයෙකු වන බැවින් දුම්වැටි දල්වා ගැනීමට යොදාගත් ගිනි පෙට්ටිය ගෙන ඊට විරෝධය පළ කිරීමක් ලෙස ගිනිකුරු එකින් එක දක්වා ඉවතට දැමූ බව අත්අඩංගුවට ගත් පෙම්වතිය පොලීසියට පවසා ඇත. දල්වන ලද ගිනිකුරු ඇතුගල මුදුනේ තිබෙන වියළි තණකොළ මතට වැටී ක්ෂණයකින් ගින්න පැතිර ගොස් තිබේ.
පෙම්වතා පැතිර යන ගින්න නිවා දැමීමට උත්සාහ කළද එය නොහැකිවූ බව පවසා තිබේ.
පසුව ඇතුගලට පැමිණ සිටි පිරිස් මේ බව කුරුණෑගල නාගරික කොම්සාරිස්වරයාට සහ පොලීසියට දැන්වීමෙන් පසුව ඔවුන්ගේ මෙහෙයවීම මතපැතිර යමින් තිබු ගිත්ත මැඬ පැවැත්වීමට හැකිවී තිබේ. ගල් බෑවුම් සහිත එම ප්රදේශයට ගිනි නිවීම් ඒකක රැගෙන යාමට නොහැකි වූ බැවින් ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන්ට ගින්න නිවීමට දැඩි වෙහෙසක් දැරිමට සිදු විය.
වයඹ පළාත් සභා සංකීර්ණය අසළින් ඇතුගල මුදුනට පිවිසීමට තනා ඇති ඉපැරැණි ගල් පඩි පිවිසුමේ මැද කොටසේ මෙම ගින්න හටගෙන තිබිණි.
ගින්න තවදුරටත් පැතිර ගියේ නම් බරපතළ විනාශයක් සිදු වීමට ඉඩ තිබූ බව පොලීසිය සඳහන් කළේය. ඇතුගල මුදුනේ ඉදිකර තිබෙන බුද්ධ ප්රතිමාවට සහ දුරකථන සබඳතා කුළුනු වෙත ගින්න පැතිර යාමට ඉඩක් පැවතිණි.
ගින්න ඇති කිරීමට සම්බන්ධ යුවළ එම ප්රදේශයෙන් පලා යමින් සිටියදී ඔවුන් පිළිබඳව ජනතාවගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ත යුවළ අද (21දා) දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩබලන මහේස්ත්රාත් නීතීඥ නලීන් ජේ.එදිරිසිංහ මහතා 19දා නියම කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval