netherlands-to-return-treasures-looted-from-indonesia-and-sri-lanka-in-colonial-era

18 වන සියවසේදී ලන්දේසීන් විසින් කොල්ලකන ලද වටිනා කෞතුක භාණ්ඩ එකතුවක් නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට වර්තමාන නෙදර්ලන්ත රජය තීරණය කර තිබේ. මෙයට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව නයිජීරියාව ඇතුළු ලන්දේසි ආක්‍රමණ සිදුවූ රටවල් මෑත කාලීනව කරන ලද ඉල්ලීම්ය.
1740 ගණන්වල මහනුවර රජුට ශ්‍රී ලාංකික ප්‍රභූවරයෙකුගෙන් තෑග්ගක් ලෙස ලැබුන, දැනට ඇම්ස්ටර්ඩෑම්හි රිජ්ක්ස් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතිවිශිෂ්ට ලෙස සරසන ලද 18 වැනි සියවසේ ලෝකඩ කාලතුවක්කුව, කඩු දෙකක්, රයිෆල් දෙකක්, කිනිස්සක් ඇතුළු වස්තූන් 06 ක් ආපසු ලැබෙන්නට නියමිතය.
මහනුවර කාලතුවක්කුව ලෝකඩ, රිදී සහ රත්‍රන් වලින් නිමවා ඇති අතර පද්මරාග මැණික් වලින් ඔබ්බවා ඇත.

බැරල කොටස මහනුවර රජුගේ සංකේත වලින් සරසා ඇත: සූර්යයා, අඩ සඳ සහ සිංහල සිංහයා එහි නිරූපිතය. කාලතුවක්කුව සම්පූර්ණයෙන්ම චාරිත්‍රානුකූල කාර්යයන් සඳහා යොදාගත් එක්ක විය. එය රජු වෙත වැදගත් අමුත්තන් පැමිනි විට පිළිගන්නා ආචාර වෙඩි තැබීම සඳහා භාවිතා වන්නට ඇතැයි සැලකේ. 1765 දී මහනුවර වටලා කොල්ලකෑමේදී ලන්දේසි පෙරදිග ඉන්දීය සමාගමේ (VOC) භට පිරිස් මේ කාලතුවක්කුව කොල්ල කෑහ. පසුව එය හේග්හි ඔරේන්ජ් කුමරු V වන විලියම් වෙත තෑගි කරන ලදී. එය 1800 සිට ඇම්ස්ටර්ඩෑම්හි රිජ්ක්ස් කෞතුකාගාරයේ තැන්පත් කර තිබුණි.

නැවත ලැබෙන අනෙක් වස්තු අතර ගිංගල්ස් ලෙස හඳුන්වන රයිෆල් තුවක්කු දෙක 1724-60 කාලයේ ලී, යකඩ, පිත්තල යොදවා තැනූවකි. කඩු දෙක ලී, යකඩ, රිදී, ගල්/දැව, යකඩ, රන්, දියමන්ති, මැණික් යොදවා තැනූවක් වන අතර1765 ට පෙර නිර්මාණය කළ ඒවාය.කිනිස්ස ලී, යකඩ, රන්, පාෂාණ-පළිඟු යොදා තනා ඇති අතර එයද 1765 ට පෙර කාලයේ නිර්මාණය කර ඇත.



නෙදර්ලන්තයේ සංස්කෘතික අමාත්‍ය උස්ලු පැවසුවේ ලන්දේසි යටත් විජිත යුගයහෙි කලා විමර්ශන කමිටුවක් විසින් 2020 වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත රජය ක්‍රියා කරන ලද බවයි.

කෞතුක වස්තු නැවත බාරදීම සඳහා රාජ්‍ය ලේකම්වරයාගේ තීරණය අගය කරන බවත් මෙම ප්‍රතිසාධනය ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාවයේ ධනාත්මක පියවරක් ලෙස සලකන බවත් පර්යේෂණ සහ පොදු ඉතිහාසය යන ක්ෂේත්‍රවල ජාතීන් දෙක අතර ශක්තිමත් පදනමක් සපයා ඇති බවත් ඇම්ස්ටර්ඩෑම්හි රිජ්ක්ස් කෞතුකාගාරයේ අධ්‍යක්ෂ Taco Dibbits මාධ්‍ය වෙත දන්වා තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව 1894 දී ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ රජ මාලිගයකින් ලන්දේසි යටත් විජිත හමුදාව විසින් කොල්ලකන ලද ස්වර්ණාභරණ, වටිනා ගල්, රන් සහ රිදී තොගයක් සහිත "ලොම්බොක් නිධානය" ද ඉන්දුනීසියාවට ආපසු භාර දීමට නියමිත එකතු කිරීම් අතර වේ.  ඉන්දුනීසියාවේ ජකර්තා හි ජාතික කෞතුකාගාරය වෙත ඒවා භාරදීම හෙට එනම්  ජූලි 10 වන දින සිදු කෙරේ. ශ්‍රී ලංකාවේ කෞතුක වස්තු මෙම වසර නිමවීමට පෙර බාරදෙන බව පවසා ඇත.