nawagamuwa-incident-police

ස්වාමීන් වහන්සේ නමක, කාන්තාවන් දෙදෙනෙකු හා පිරිසක් සම්බන්ධවී කඩුවෙල නවගමුව විහාරස්ථානයකදී පසුගිය 6 දින රාත්‍රී ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා විශේෂ පැහැදිලි කිරීමක් අද (8) සවස සිදු කර තිබේ.


මෙම සිද්ධිය ගැන ඔහු මෙසේ කීය.

'නවගමුව ප්‍රදේශයේ විහාරස්ථානයට රාත්‍රී කාලයේදී කාන්තාවන් දෙදෙනෙක් ගිහිල්ලා තියෙනවා. ඒ ගියපු කාන්තාවන් යම් කිසි ආකාරයට නැවත පැමිණීමට ප්‍රමාද වීම නිසා ප්‍රදේශවාසීන් යම්කිසි සැකයක් ඇති කර ගෙන ඔවුන් එම විහාරස්ථානයට ගිහිල්ලා යම් කිසි කලබලයක් සිදුකර තිබෙනවා.



ඒ ස්ථානයේ පසුව මේ ස්වාමීන් වහන්සේ ඒ රැඳී සිටි කාමරයට ගිහිල්ලා පරීක්ෂා කිරීමේදී මේ කාන්තාවන් දෙදෙනෙක් එම කාමරය තුළ සිටීම නිසා මේ ප්‍රදේශවාසීන් යම්කිසි පිරිසක් එකතුවෙලා ස්වාමීන් වහන්සේටත් ඒ වගේ මේ කාන්තාවන් දෙදෙනාටත් පහර දීමක් සිදු කරලා යම්කිසි ආකාරයක ලිංගික හිරිහැරයක් සිදු කරලා තියෙනවා.

කාන්තාවන් ඒ ඇඳගෙන සිටි ඇඳුම් ගලවලා ඒ දර්ශන වීඩියෝ කරලා ඒවා සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමක් කරලා තියෙනවා. මේ සිද්ධිය සිද්ධ වෙන්නේ ඒ පසුගිය දිනෙක. ඒ කියන්නේ 6 වන දින රාත්‍රී කාලයේ දී පොලීසියට මේ තොරතුරු ලැබුණට පස්සේ පොලීසිය මෙම ස්ථානයට යනවා.
119 පණිවුඩයකින් තමයි තොරතුරු ලැබිලා තියෙන්නේ පොලිස් ස්ථානයට.

ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ල මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ කෙසේ වුවත් ඊයේ දින වන විට මේ සම්බන්ධ අදාළ වීඩියෝ දර්ශනය යම්කිසි පුද්ගලයෙක් සමාජ මාධ්‍ය ජාලා වෙත යොමු කර තිබුණා. ඊයේ රාත්‍රියේ දී මීට අදාළ එක් සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් අවුරුදු 37 ක පුද්ගලයෙක් බවත් වාර්තා වුණා.

අද දින උදෑසන පහරදීම්වලට සම්බන්ධ වෙච්ච ඒ වගේම කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම සඳහා සම්බන්ධ වෙච්ච පුද්ගලයෝ හත් දෙනෙක් නවගමුව පොලිස් ස්ථානයට බාර වුණා. අද එයින් පසුව මොවුන් අත්අඩංගුවට ගත්තා. මේ වන විට සැකකරුවන් 8 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අද දින ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.



මේ සැකකරුවන් විශේෂයෙන්ම පහර දීම කියන කාරණයත් ඒ වගේම කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම කියන කාරණයට එ වගේම මේ වීඩියෝ දර්ශනය යම්කිසි පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍යවලට මුදා හැරලා තියෙනවා. මේ පිළිබඳ විමර්ශන කටයුතු පවත්වනවා. එම පුද්ගලයා ඉතාමත් බරපතල වරදක් කරලා තියෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ තුන්සිය හතළිස් වන වගන්තියේ තියෙනවා මෙවැනි ආකාරයේ ලිංගික හිරිහැර සම්බන්ධව ප්‍රචාරණයන් කිරීම වරදක් කියන කාරණය.

විශේෂයෙන් මේ පහරදීම සහ ඊට අදාළ මේ කාන්තාවන් විවෘතව පෙනෙන ආකාරයට ඒ වගේම කාන්තාවන්ට වෙන හිරිහැර ඔහුගේ ඒ කාන්තාවන්ගේ ඇඳුම් ගැලවීමට සියලු දේවල් සහිතව මේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත යොමු කරලා තියෙන යොමු කළ පුද්ගලයා බරපතල වරදක් කරනවා.
මේ සම්බන්ධවත් විමර්ශන පවත්වනවා.

විමර්ශන කටයුතු පවත්වන්නේ නවගමුව පොලිස් ස්ථානයෙන් මේ සියලු දෙනාම නීතිය හමුවට ඉදිරිපත් කිරීම තමයි අවශ්‍ය කටයුතු කරන්නේ.



අද දින මේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගරු අධිකරණ ඉදිරිපත් කරනවා. මීට සම්බන්ධ තවදුරටත් තවත් සැකකරුවන් ඉන්නවා ද යන්න අදාළ විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා..'

නවගමුව බෝමිරිය ප්‍රදේශයේ දී හිමිනමට හා තවත් කාන්තාවන් දෙන්නෙකුට නිරුවත් කර පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 8 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා අද මෙම නියෝගය සවස ලබාදී ඇති බවත් පොලිස් මාධ්‍ය නිවේදනයෙන් පසුව වාර්තා විය.