madhawa-peris-amarasiri-italy

 මාධව පීරිස් කියන නම දන්නේ නැති වුවත් මේ රූපය දුටු ගමන් කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ ප්‍රවීණ ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ එකම පුතණුවන්ය. ඔහු ලංකාවේ නොහිටියත් උපන් රට තුළ පසුගිය දා කතාබහට ලක් වුණා. ඒ අමරසිරි පීරිස්ගේ ගීත ගායනා කරමින් එය සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් ප්‍රචාරය වී ඔහු ගැන කතා කරන්න පටන් ගත් නිසයි. මේ වන විට ඉතාලියේ ජීවත් වෙන ඔහුත් සමඟ කතාබහක යෙදෙන්න හිතුවා.

අමරසිරි පීරිස්ට පුතෙක් ඉන්න බව නොදැන හිටපු බොහෝ දෙනෙක් ඔබ ගැන පසුගියදා කතා කරන්න පටන් ගත්තා..?

ඉතාලියේ ජීවිත් වෙන ශ්‍රී ලාංකිකයන් නම් මාව අඳුරගෙන කතාබහ කරන අවස්ථා තියෙනවා. මෙහේ උත්සවවලට ප්‍රසංගවලට ගීත ගායනා කරන්න ආරාධනා ලැබෙනවා . නමුත් උපතින්ම තියෙන කම්මැලිකම නිසා ඒවාට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ලංකාවේ ඉන්න ආදරණීය රසිකයන් අමරසිරිට පුතෙක් ඉන්න බවක් දැනගෙන හිටියේ නැහැ. මම මගේ තාත්තගේ ගීතයක් කවර් සෝන්ග් එකක් විදිහට ගායනා කළා. ඒ ස්නේහයේ නගරයයි කියන ගීතය . මේ ගීතය හා තවත් ගීත කිහිපයක් මම ගායනා කළේ සංගීත ජීවිතයේ ආරම්භයක් ගන්න ඕන නිසා තමයි . මගේ ගීතයක් කරලා රසිකයන් අතරට යන්න කලින් මෙහෙම කෙනෙක් ඉන්න බව මට සමාජයට දැනුවත් කරන්න ඕන වුණා. මේ වන විට ඉහළින් ප්‍රතිචාර ලැබෙනවා. හැමෝම අහන්නේ ඔයා මෙච්චර කල් කොහෙද හැංගිලා හිටියේ කියලයි.

ඇයි මේ පෙළඹවීම මීට පෙර කරන්න හිතුවේ නැත්තේ..?

මම විවාහ වෙන්නේ අවුරුදු 18 කලින්. විවාහ වුණු ඇය සුභාෂිණි පල්ලේවත්ත. ඒ වෙද්දීත් ඇය ජීවත් වුණේ ඉතාලියේ. එයත් එක්ක විවාහ වුණාට පස්සේ මමත් අකමැත්තෙන් වුණත් ඉතාලී ආවා. දැන් මෙහේ අපි ජීවත් වෙනවා. ලංකාවේ නැති වීමත් මෙහේ කාර්‍යබහුල ජීවිතේත් ඒකට හේතුවක් වුණා කිව්වොත් හරි. ගායකයෙක් වෙලා ප්‍රසිද්ධ වෙන්න හැමෝම දන්න කෙනෙක් වෙන්න ඒතරම් කැමැත්තක් තිබ්බේ නැහැ. ඒ වගේම කියන්න ඕන මගේ තාත්තත් ජනප්‍රිය වෙන්නේ එයාට වයස අවුරුදු හතලිස් හතේදී. මගේ බිරිඳගේ දැඩි කැමැත්ත හා එයාගේ සහය එක්ක තමයි මේ දේ කරන්න පෙළඹුණේ. එයා නිතරම මට කිව්වා කටහඩෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා . මේ ආරම්භයත් ඇය නිසයි සිදු වුණේ කට හඬේ රස අහන්න ලැබෙයිද..?

අලුත් ගීතයක් නිර්මාණය කළා. ඒ ගීතය රස විදින්න පුළුවන් ළඟදීම. මගේ මුල්ම ගීතය ලිව්වේ වසන්ත කුමාර කොබවක. සංගීතය සුරේෂ් මාලියද්දගේ. ඊට අමතරව බන්දුල නානායක්කාරවසම් මහතා ලියපු සුරේෂ් මාලියද්දගේ සංගීතයට තවත් ගීතයක් නිර්මාණය වුණා. තාත්තා කිව්වා අලුත් වැඩක් කරමු කියලා. ඒ ගැනත් සැලසුම් කරනවා

පුළුවන් විදිහට ගීත කරන්න බලාපොරොත්තු වෙනවා. විදෙස් රටවල ප්‍රසංග සඳහාත් ආරාධනා ලැබෙනවා. නමුත් ඒවාට සම්බන්ධ වෙන්න අමාරුයි මෙහේ දුවන ජීවිතයක් ගත කරන නිසා . ඒ වගේම මට ඕන ප්‍රසංග වේදිකාව මගේ ගීතවලින් පෝෂණය කරන්න. එතෙක් වේදිකාවේ ගී ගයන්න මම සූදානම් නැහැ .



ඉතාලි නොයා ලංකාවේ හිටියා නම් මීට කලින් ඔබේ හැකියාව දැකගන්න තිබුණා ..?

මම කලින් කිව්වා වගේ මම ජීවත් වෙන්න ආස ලංකාවේ. හරිම අකමැත්තෙන් ආව ගමනක් නමුත් සුන්දර විදිහට දැන් ජීවත් වෙනවා. ලංකාවේ හිටියා නම් සමහර විට ගායනයට යොමු වෙන්න ඉඩ තිබුණා.

මියුරු හඬක් ඇති ඔබේ පියා කවදාවත් බල කළේ නැද්ද තමන්ගේ හඬ හා නම පවත්වාගෙන යන්න ඔබට කටයුතු කරන්න කියලා ..?

එකම ජාන නිසා තාත්තගේ හඬ මට ටිකක් තියෙනවා. නමුත් මගේ ටෝන් ඒකේ කලර් එක වෙනස්. අමරසිරි පීරිස් කියන්නේ මගේ තාත්තා තමයි . ඒත් මම ඔහුට ගරු කරනවා. ඔහු ළඟින් ඉන්නවත් මට බැහැ. කවදාවත් මට අමරසිරි පීරිස් වගේ වෙන්න බැහැ. මගේ පවුලේ නංගිලා හතර දෙනාට ඉන්න අයියා මම. පවුලේ වැඩිමහල් කෙනා මම සහ එකම පුතා මම. ඒත් මගේ තාත්තා කවදාවත් බල කරලා නැහැ මේ දේ කරන්න කියලා. පුංචි කාලේ ඒ කියන්නේ මට අවුරුදු අටේදී තාත්තා ආනන්ද දාබරේ මහත්මයා ළඟට එක්කගෙන යනවා වයලින් ඉගෙන ගන්න. සංගීතය ඉගැන්නුවා අදටත් බලකිරීම් නැහැ. ඒ කොහොම නමුත් මගේ මේ ගායනයන්, රස විදලා තාත්තා සතුටු වෙන්න ඇති අනිවාර්යයෙන්ම .

ඔබේ පියාගේ ගීතවලින් ඔබ ප්‍රිය කරන ගීතය..?

කාලය කොතරම් මිහිරිද සොඳුරියේ ගීතය තමයි මම ආසම ගීතය. වචන හදවතට දැනෙනවා. හරි අර්ථාන්විත පද ටිකක්. ඒ වගේම කේමදාස මාස්ටර්ගේ සංගීතය හරි රසයි. ඒ දේවල් එක්ක තාත්තගේ හඬ හොඳට මිශ්‍ර වෙලා තියෙනවා.

ඔබේ ප්‍රියම්භිකාව සුභාෂිණිට ආදරේ කරන්නේ ඇගේ පියත් එක්ක තිබ්බ හිතවත්කම නිසා කියන්නේ ඇත්තද ..?


ඔව්. ඇගේ පියා මහින්ද දිසානායක. ඔහු මගේ හිතවතෙක් වෙන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගිය නිසා. එතැනදි ගොඩනැඟුණු බැඳීම් එක්ක ඔහු ගීතයට කලාවට ප්‍රිය කරන බව දැණුනා. හරිම සුන්දර මනුස්සයෙක්. ඒ හිතවත්කම නෑදෑයෙක් දක්වා දුර දිග ගියා. අවසානයේ ඔහුගේ දියණිය එක්ක මම විවාහ වුණා.

ඔබේ දියණිය ඉතාලියේ ඔපෙරාව හදාරන්නියක්. ඈ ගැන ඔබේ පියා සතුටු වෙනව ඇති .?


දුව සාරා සත්සරණි පීරිස්. ඔපෙරා සංගීතය හදාරනවා. එයා මම වගේ නෙමෙයි හයි නෝට් ගායනා කරන්නේ. කටහඩ ලස්සනයි. තාත්තා මගේ දුවට හරිම ආදරෙයි. දුවගේ දක්ෂතා ගැන තාත්තා සතුටු වෙනවා.

හැල්මේ දුවන ජීවිතේ දී ඔබෙන් ගෙදරට සහය ලැබෙනවා ද..?


මෙහේ අපි තුන් දෙනාට අපි තුන්දෙනා තමයි සහාය. දුවගේ අධ්‍යාපන කටයුතු ගැන බිරිය වගේම මමත් හොයලා බලනවා එයාව අපි දෙන්නම පන්ති එක්කගෙන යනවා එනවා. කාර්‍යබහුල වුණත් නිවාඩු දාලා හරි අවශ්‍ය කටයුතු කරන්න මම දෙපාරක් හිතන්නේ නැහැ .

(සාකච්ඡාව හා සටහන - හර්ෂණී වීරරත්න -රසඳුන)
මාධව ගැයූ ගීත දෙකක් මේ සමග පළවේ