මුළු ලොවම කෘතිම බුද්ධිය AI (Artificial Intelligence) දැනුම අධ්‍යයනය ඇතුළු විවිධ දෑ සඳහා භාවිත කරනු ලබන වකවානුවක, ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල සිසුවෙක් පළමු වර‍ට‍ සුවිශේෂ කටයුත්තක් සිදු කර ඇත.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට විශේෂයෙන් පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන්, ගුරුවරුන් මෙන්ම, විවිධ ක්ෂේත්‍රවල සිටින බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් කෘතිම බුද්ධිය භාවිත කර පරිශීලනය කළ හැකි වෙබ් පිටුවක් https://www.scholalify.com සහ පරිගණක ඇප් (Scholalify App) එකක් නිර්මාණය කර මේ වන විට එය ඕනෑම අයෙකුට නොමිලේ පරිශීලනය කළ හැකි පරිද්දෙන් ඉදිරිපත් කර තිබේ.  

මෙම සුවිශේෂි නිර්මාණය කර ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ දිලුම් ලිය‍නගේ ශිෂ්‍යයායි.



දැනට කැනඩාවේ, මෙමෝරියල් විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාව පිළිබඳව උපාධිය අවසන් ව‍සරේ අධ්‍යාපනය හදාරනු ලබන දිලුම් ශ්‍රී ලංකා අධ්‍යාපන ‍ක්ෂේත්‍රය වෙනුවෙන් උසස්පෙළ ජීව විද්‍යාව, ගණිතය සහ සෙසු විෂයයන් ස්වාධීනව ඉගෙන ගත හැකි පරිදි මෙම මහඟු නිර්මාණය කර ඇත.  

මෙම ඇප් එක තුළින් විෂයයන් 25 වැඩි සංඛ්‍යාවක් අධ්‍යයනය කළ හැකි අතර, Chat GPT AI Chatbot භාවිත කර පිළිතුරු ලබා ගත හැකිය. මෙහි විශේෂත්වය වන්නේ සිංහල, දෙමළ, ඉංග්‍රිසි යන ඕනෑම භාෂාවකින් සංවාදයේ යෙදීම සහ ඕනෑම විෂයකට අදාල ප්‍රශ්නයක් අසා දැනගැනීමට හැකි වීමය. ජීව විද්‍යාව, ගණිතය, තාක්ෂණ විෂය, වාණිජ, කලා යන විෂයන් සදහා මෙය විශේෂිතයි. Scholalify app සහ වෙබ් අඩවියේ තවත් ලක්ෂණයක් වන්නේ, ලංකාවේ විශ්ව විද්‍යාල වල සිසුන් සමඟ එකතු වී විෂයානුබද්ධ ප්‍රශ්න විසඳගන්නට හැකි වීමය. විශ්ව විද්‍යාල සිසුන් 200 කට අධික පිරිසක් Scholalify හා එක් වී සිටින නිසා ඔබට ඔවුන් අතරින් හොඳම ගුරුවරයා තෝරා ගැනීමට හැකිවීම මෙහි තවත් වාසියකි.



2018 වර්ෂයේ අපොස උසස් පෙළ ගණිත අංශයෙන් සමත් වූ දිලුම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට තේරිපත් විය.නමුත් ඔහු එම අවස්ථාව වෙනත් ශිෂ්‍යයෙකුට ලබාදෙමින් කැනඩා‍වේ මෙමෝරියල් විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයක් ලබා උපාධිය හැදෑරීමට තීරණය කර එය තෝරා ගනිමින් කැනඩාවට ගිය අතර, සිය උපාධිය සම්පූර්ණ කිරීම අතරතුර AI භාවිත කර නිර්මාණය කරන ලද පළමු ඇප් එක හා වෙබ් පිටුව නිර්මාණය කිරීමේ පළමු ශ්‍රී ලාංකිකයා වීමට සමත් වී ඇත.

මෙම ඇප් (App) එක මගින් ඕනෑම අයෙකුට තම e-mail ලිපිනය හරහා ලියාපදිංචි විය හැකි අතර,  Scholalify App එක මගින් ඉදිරියේ දී තවත් බෝහෝ දෑ හැදෑරීමට අවස්ථාව ලැබෙනු ඇත.

මෙරට අධ්‍යා‍පන කටයුතු හා වෙනත් තොරතුරු සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීම අධ්‍යාපනය හා වැදගත්කම නිරන්තරයෙන් කතාබහ කරන මෙම කාලයේ  වර්තමාන අධ්‍යාපන  විශේෂඥයන්ගේ අවධානය මෙම සිසුවාගේ දක්ෂතාව පිළිබඳ යොමුවනු ඇතැයි අපේක්ෂාවයි.