diana-court

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයකු බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීම බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන  ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා ගොනු කළ රිට් පෙත්සම නව විනිසුරු මඩුල්ලක් හමුවේ සැප්තැම්බර් 14 වැනිදා යළි විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය.



මෙම නඩු තීන්දුව ඊයේ (25) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ නමුත් විනිසුරුවන් දෙදෙනා බෙදුණු තීන්දු ගැනීම හේතුවෙන් පෙත්සම යළි පූර්ණ විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන බව දැනුම් දුන්නේය. මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් මහත්වරුන්ගෙන් සමන්විත  අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. මෙම පෙත්සම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ හෆීල් පාරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විදේශිකයකු වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තියට අනුව ඇයට  පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බවය.



එසේම ඇය මේ සියලු කරුණු වසන් කරමින් උප්පැන්න සහතිකය ඉදිරිපත් කර මෙරට විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයැදුම් කර ඇති බවත් ඔහු පැවසුවේය. සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා ගොනුකර තිබූ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සහ ආගමන විගමන පාලකවරයා නම් කෙරිණි. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන බැවින් ඇයට මෙරට මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවත් ඒ හේතුවෙන් ඇයගේ මන්ත්‍රීධුරය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබිණි.
 විමුක්ති එස්. රුද්‍රිගු