red-sea-issue

යේමනයට ඔබ්බෙන් රතු මුහුදේ අත්හැර දමා ඇති FSO Safer බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති බොරතෙල් ඉවත් කිරීමේ මෙහෙයුම් ඊයේ (25දා) දිනයේදී ආරම්භ කෙරුණු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මෙම නෞකාව යේමන යුද්ධය ඇරඹුණු 2015 වසරේ සිට මෙම සාගර කලාපයේ රඳවා තිබේ.

එම සංවිධානයේ මූලිකත්වයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක අතර, නොකාවේ ඇති බැරල් මිලියනයකට අධික බොරතෙල් හේතුවෙන් ඇතිවිය හැකි දරුණු සාගර විනාශය වැළැක්වීම මෙහි අරමුණ වී තිබේ. යම් හෙයකින් මෙම නෞකාවේ ඇති බොරතෙල් සාගරයට කාන්දු වුවහොත් එය ලොව දරුණුතම පාරිසරික මෙන්ම මානුෂික ව්‍යසනයක් බවට පත්විය හැකි බව අදහස වී තිබේ.



වසර අටකට අධික කාලයක් එකම ස්ථානයේ රඳවා තැබීම හේතුවෙන් අද වනවිට මෙම නෞකාව දිරාපත්වීමේ

අවදානමකට ලක්ව තිබුණි. ඒ අනුව නොකාවේ ඇති බොරතෙල් ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු අකෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ දිනයේදී මෙම බොරතෙල් ඉවත් කිරීම ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරෙස්, "ලෝකයේ විශාලතම කාල බෝම්බය බවට පත්වීමට නියමිත වූ දෙයක් අපගේ මෙහෙයුමකින් නිෂ්ක්‍රීය කරන කටයුතු අද ආරම්භ වුණා.” යනුවෙන් පවසා තිබේ. මෙම FSO Safer නෞකාව අවුරුදු 47ක් පැරණි නෞකාවක් වන අතර, එහි මරිබ් බොරතෙල් බැරල් මිලියන 1.14ක් තිබූ

බව පැවසෙයි. මෙලෙස එම බොරතෙල් Nautica නම් වෙනත් නව නෞකාවකට හුවමාරු කිරීම සඳහා සති තුනකට ආසන්න කාලයක් ගත වෙනු ඇතැයි යේමනය සඳහා වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක ඩේවිඩ් ග්‍රීස්ලි පවසා සිටියි.



එම සංවිධානය ඇස්තමේන්තු කර ඇති ආකාරයට මෙම මෙහෙයුම සදහා වැය වන සම්පූර්ණ මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කි. යම් ලෙසකින් මෙම බොරතෙල් සාගරයට කාන්දු වූයේ නම් ඉන් ඇති වන සාගර දූෂණයවීම පිරිසිදු කිරීම සදහා ඩොලර් බිලියන 20ක් පමණ වැය වෙනු ඇතැයිද එම සංවිධානය සදහන් කරයි.