
පැමිණිල්ලක් විභාග කරන අතරතුර අහංගම පොලිසිය තුළ කලහකාරි ලෙස හැසිරී, ගුටි ඇන ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරියක, ඇගේ සැමියා හා සැමියාගේ නැගණිය පෙරේදා (10) අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරිය අහංගම කහටගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය හම්බන්තොට වරාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන බව පොලිසිය සඳහන් කරයි. ඇය පවුල් ආරවුලක් සම්බන්ධයෙන් සැමියාට හා සැමියාගේ නැගණියට එරෙහිව අහංගම පොලිසියට කළ පැමිණිල්ලක් පෙරේදා විභාගයට ගෙන ඇති බව පොලිසිය කියයි.
විවිධ පැමිණිලි අංශය දෙපාර්ශ්වය පොලිසියට කැඳවා මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ ඔවුන් එහි පැමිණ සිටි මහජනයා ඉදිරියේ බහින් බස් වී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. පොලිසියට පැමිණ සිටි ජනතාවට අප්‍රසන්නතාවක් ඇති වන අයුරින් මෙලෙස කලහකාරි ලෙස හැසිරුණු කොස්තාපල්වරියගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඇයට එරෙහිව විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. අහංගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක
Comments
Post a Comment
Your comment will be visible after approval