world-record-kidney-operation

නව ගිනස් වාර්තාවක් තබමින් යුද හමුදා රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ලොව විශාලතම සහ බරම වකුගඩු ගල ශල්‍ය කර්මයකින් ඉවත් කර ඇති බව වාර්තා වේ.
යුදහමුදා රෝහලේ ජන්‍ය මෞත්‍ර ලිංගික ඒකකයේ ප්‍රධානී මෞත්‍රික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලුතිතන් කර්නල් කේ. සුතාර්ෂන් කපිතාන් වෛද්‍ය ඩබ්ලිව්.පී.එස්.සී පතිරත්න ඇතුළු වෛද්‍යවරු පිරිසක් මෙම ශළ්‍ය කර්මයට එක්ව තිබේ.



නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් ලෙස කර්නල් යු.ඒ.එල්.ඩී. පෙරේරා, සහ කර්නල් සි.එස්. අබේසිංහ යන මහත්වරු මේ සඳහා සහාය ලබාදී ඇති අතර, වකුගඩුවෙන් ඉවත් කළ මෙම ගලෙහි දිග සෙන්ටි මීටර් 13.372කි. එහි බර ග්‍රෑම් 801කි.

හමුදා රෝහලේදී සිදු කළ ප්‍රධාන ශල්‍ය කර්මයකදී වකුගඩු ආශ්‍රීතව හටගත් ලෝකයේ විශාලතම සහ දිගම ගල ඉවත් කිරීමට වෛද්‍ය කාර්ය මණ්ඩලය සමත් වී තිබෙයි.

පසුගිය පළමුවනදා යුද හමුදා රෝහලේදී කළ එම ශල්‍ය කර්මය ගිනස් ලෝක වාර්තා අතරටද එක් වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කිරමින් පවසයි.

ගිනස් ලෝක වාර්තාවට අනුව ලෝකයේ මේ වන විට හමු වී ඇති දිගම වකුගඩු ආශ්‍රිත ගල 2004 වසරේදී ඉන්දියාවේදී සිදු කරන ලද ශල්‍ය කර්මයකදී හමු වී තිබුණි එය සෙන්ටි මීටර් 13 ක දිගින් යුක්ත විය.

එමෙන්ම බරින් වැඩිම වකුගඩු ආශ්‍රිත ගල වර්ෂ 2008 දී පාකිස්ථානයෙන් හමු වී ඇති අතර එය ග්‍රෑම් 620 ක් ලෙස සදහන් විය.
මෙම සැත්කමේදී එම වාර්තා දෙකම බිඳ වැටිණි.
ශල්‍ය කර්මයට බඳුන්වූ පුද්ගලයා පිළිබඳ විස්තර අනාවරණය නොකෙරිණි.