koslanda-incident-updates

මීට සති 3 කට පමණ ඉහතදී කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ පිහිටි දියලුම දිය ඇල්ලට ඉහළින් පිහිටි උඩදියලුමේ රාත්‍රි ගතකරමින් සිටි යුවළකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් මියගිය එච්. තරුෂි කවීෂා නමැති තරුණියගේ මරණය සම්බන්ධයෙන්  ඇය මියගිය රාත්‍රියේ ඇය සමග කූඩාරමක ගත කළ ධනුෂ්ක මධුශාන් කළුආරච්චි නමැති තරුණියගේ පෙම්වතා ‘ඝාතන සැකකරුවෙක්‘ ලෙස නම් කර

පොලිස් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය මැයි මස 11 වනදා පස්වරුවේ කොස්ලන්ද දියලුම දිය ඇල්ලේ උඩදියලුම ප්‍රදේශයට පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබුණ අතර පසුව එදින රාත්‍රියේ එම යුවළට එල්ලවූ වනඅලි ප්‍රහාරයකින් තරුණිය ජීවිතක්ෂයට පත්වූ බව ප්‍රකාශ විය.

දියතලාව මූලික රෝහලේ ඉකුත්දා (12) සවස හල්දුම්මුල්ල හදිසි මරණ පරීක්ෂක ඒ.ආර්. රත්නවීර මහතා ඉදිරියේ පැවති හදිසි මරණ පරීක්ෂණයේදී තරුණියගේ පෙම්වතා මෙසේ කියා තිබුණි.  



‘අපි කුඩාරමක් ගහගෙන හිටියා. රෑ 10.30ට විතර අලියා ආවා. අපි ළඟට අලියා එන එකක් නැතිවෙයි කියලා අපි කූඩාරම ඇතුළෙ ගුලිවෙලා හිටියේ. එතකොටම වගේ අලියා ඇවිත් අපි හිටපු කූඩාරම පෑගුවා. අපි හිටපු තැන ෆොන්වලට හරියට සිග්නල් නෑ. මම ගොඩාක්වෙලා උත්සාහ කළා. යාළුවන්ගේ ෆොන්වලට ගන්න. ඒ අයගේ ප්‍රතිචාරයක් තිබුණේ නෑ. ෆොන් වැඩ කළේ නෑ. මම බඩගාගෙන බඩගාගෙන සිග්නල් තියෙන තැනකට ගිහින් පාන්දර 5.30 ට විතර 1990 ටයි යාළුවන්ටයි ගත්තා. ඊට පස්සේ තමයි ඒ අය අප හොයාගෙන ආවේ

අපි බැඳලා නෑ. යාළුවෙලා හිටියේ. එයා මාතර, කුරුණෑගල නර්සින් හෝම් එකක ඉගෙන ගන්නවා. අපි කුරුණෑගල ඉඳලා ඊයේ පාන්දර ආවේ .ඒ ආවේ හපුතලේට. ඒ ඇවිත් හපුතලේ ඉන්න මගේ යාළුවෙක්ගේ ගෙදරට ගියා. ඊට පස්සේ එයත් එක්ක උඩදියලුම යන්න ආවා. හපුතලෙන් පිටත්වුණේ හවස තුනට විතර උඩදියලුමට එනකොට හවස පහ හමාරට විතර ඇති. මගදී මග පෙන්වන්න තරුණයකු සම්බන්ධ කරගත්තා. එයා අපිව උඩදියලුමට එක්කගෙන ආවා. ගාස්තුව විදිහට රුපියල් 1000ක් මම දුන්නා. ප්‍රධාන පාරේ ඉඳලා කිලෝමීටර් දෙක හමාරක් විතර ආවා. අපි උඩදියලුමේ එළි පෙහෙලිකරලා තිබුණ  තැනක කූඩාරම හදාගත්තා. ඊට පස්සේ අපි  මෙතන ඉන්නම් කියලා එයාලට යන්න කිව්වා.

දහය හමාරට විතර අලියා ආවා. අපි සද්ද නැතුව කූඩාරම ඇතුළට වෙලා ගුලිවෙලා හිටියා. අපි හිතුවේ නෑ අලියා එයි කියලා. එක පාරම ඇවිත් කූඩාරම පෑගුවා. එහෙම පාගලා අලියා ගියා. අරයගෙ බඩයි පපුවයි පාගලා තිබුණා. මගේ වම් අත උරිස්ස පැත්ත පොඩිවෙලා වගේ තිබුණා. එයා වතුර ඉල්ලුවා. අමාරුවෙන් කතා කරකර හිටියා. වම් කකුල කැඩිලා තිබුණේ. ඒක සනීප කරගන්න පුළුවන් වෙයි නේද කියලත් ඇහුවා. යාළුවන්ට කතා  කරන්න සෑහෙන්න උත්සාහ කළා. ඒත් බැරිවුණා.  11.59ට විතර අලි එනවා කියනකොටම කට්වුණා. ඒ ඇවිල්ලා බලන කොට එයා නැතිවෙලා. ඒ වෙලාවේ ඉඳන් මම ඊට පස්සේ ගලක් තියෙන හරියකට බඩගාගෙන ගිහින් කෝල් ගත්තා. කවුරුවත් සම්බන්ධ කරගන්න බැරිවුණා.පාන්දර තමයි කතා කරගන්න පුළුවන් වුණේ. උදේ හයයි තිහට විතර ගමේ අයයි 1990 අයයි ඇවිල්ලා මාව රෝහලට අරගෙන ගියා. “




අලි ප්‍රහාරය හේතුවෙන් පපුවට හා උදරයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් සිදු වූ හදිසි මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය ශානක රොෂාන් පතිරණ  නිගමනය කර තිබුණි.

කෙසේ වෙතත් තරුණියගේ පියා මෙය ඇගේ පෙම්වතා කළ ඝාතනයක් විය හැකි බවට සැක යයි පොලිසියට පැමිණිල්ලක් කර තිබූ අතර කොස්ලන්ද පොලිසිය පෙම්වතා කැඳවා සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඉහත මරණ පරීක්ෂණයේදී ලබාදුන් තොරතුරු වලට පරස්පර තොරතුරු ප්‍රකාශ කර ඇති බව පොලිසියට ඒත්තු ගොස් තිබේ.
මේ හේතුවෙන් තරුණිය එදින රාත්‍රී ඝාතනය වූවාද නැතිනම් තරුණයාගේ නොසැලකිල්ල මත යමක් වූවාද යන සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුව ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.