
මෙරට පුද්ගලයන් ලක්ෂ 75ක් (සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 33ක්) උග්‍ර ආහාර ගැටලුවකට (ආහාර – අනාරක්ෂිතභාවය) මුහුණදී සිටින බව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධාන ලෝක ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් කළ අලුත්ම අධ්‍යයනයකදී අනාවරණයවී ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාරිය වසන්ත අතුකෝරල මහතා පැවසීය.
මේ අතර, ආසියානු පැසිෆික් කලාපයේ ආහාර අනාරක්ෂිත රටවල් 23 අතර ශ්‍රී ලංකාව සිටින්නේ 20 වැනි ස්ථානයේ බවද එම අධ්‍යයනයේ දී හෙළිවී ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළේය. ලක්ෂ පනස් හතක් වන රටේ පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ තිස් හතක් රජයෙන් කුමන හෝ ආධාරයක් ඉල්ලා ඇතැයි කී අතුකෝරළ මහතා සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට 65ක් ජීවන වියදම පියවා ගැනීමේ බරපතළ ගැටලු වලට මුහුණ දී සිටින බවද අනාවරණය කළේය. ලෝක ආහාර වැඩසටහන කළ එම අධ්‍යයනය අනුව ශ්‍රී ලංකාවේ පවුල් වලින් සියයට 68 කට ආසන්න සංඛ්‍යාවක් උද්ධමනය හමුවේ ආහාර ගැනීමේ රටාව වෙනස් කරගෙන ඇතැයි මහාචාර්යවරයා කීවේය.
මේ අනුව සමහරුන් දෛනිකව ගන්නා ආහාර ප්‍රමාණ අඩුකර ගෙන ඇති අතර තවත් සමහරුන් ඉහළ වටිනාකම් සහිත ආහාර වෙනුවට අඩු වටිනාකම් සහිත ආහාර වලට යොමු වී සිටින බව හෙතෙම ප්‍රකාශ කළේය. මෙම අධ්‍යයනය අනුව ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන වැඩිම පිරිස සිටින්නේ බස්නාහිර මධ්‍යම සහ ඌව යන පළාත්වල බවත් එම සංඛ්‍යාව සියයට අසූ අටක් බව අතුකෝරල මහතා පැවසීය.
නැගෙනහිර පළාතේ පවුල් වලින් සියයට 85ක් ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන අතර, වයඹ සහ උතුරු මැද පළාත්වල ආහාර අනාරක්ෂිත භාවයෙන් පෙළෙන පවුල් සංඛ්‍යාව සියයට 84 ක් බවද ඔහු ප්‍රකාශ කළේය.
ලෝක ආහාර සුරක්ෂිතතා දර්ශකය අනුව ආහාර සුරක්ෂිතතාව පැත්තෙන් ශ්‍රී ලංකාව 2019 වර්ෂයේ සිටියේ 69 වැනි ස්ථානයේ බවත් 2022 වර්ෂයේදී එය 79 වැනි ස්ථානයට පහළ ගිය බවත්, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. ආහාර ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යෑම නිසා ජනතාවගේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) හීනවීම හේතුවෙන් මෙම ගැටලුව මතුව තිබෙන බවත් රජය මෙම ගැටලුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
සුජිත් හේවාජුලිගේ
Comments
Post a Comment
Your comment will be visible after approval