ravi-karunanayake

රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයාව සිටියදී සිය පුද්ගලික ව්‍යාපාරයක් සඳහා රුපියල් කෝටි 1,000ක රජයේ මුදල් භාවිත කර, රජයට වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව මුදල් අමාත්‍යාංශයේ විෂය ලිපිකරුවකුගෙන් ප්‍රකාශක් ලබා ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (14) අවසර දුන්නේය. මෙලෙස ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර ලබා දුන්නේ, මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය පරිපාලන සේවා නිලධාරි රණසිංහ ආරච්චිගේ දොන් අසේල ප්‍රියංකර වීරසූරිය නමැත්තාගෙනි.



මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සම්බන්ධිකරණ නිලධාරි දිල්ෂාන් අල්විස් යන අයගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බවත්, එම අමාත්‍යාංශයේ මුදල් සම්බන්ධ විෂය ලිපිකරුගෙන් ප්‍රකාශ සටහන් කරගත යුතුව ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ දැනුම්දීමට අනුව මෙම නියෝගය නිකුත් කෙරිණි. සිංප්පූරුවේ ස්ථාපිත කර ඇති නැව් භාණ්ඩ සැපැයුම් සමාගමක මව් ශාඛාවේ විධායක නිලධාරි දොන් සිරිල් රොද්‍රිගු යන අයට ඉකුත් 2015 සැප්තැම්බර් මස 2 වැනිදා සිට 2016 ජුනි මස 20 වැනිදා අතර කාලයේදී කොළඹ හිල්ටන් හෝටලයේ නවාතැන් පහසුකම් සලසා, ඊට අදාළ වියදම් මුදල් අමාත්‍යාංශයෙන් ගෙවීම හිටපු අමාත්‍යවරයා සිදු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු  වාර්තා කර තිබිණි.



එම සිංගප්පූරු සමාගමේ මෙරට අධ්‍යක්ෂවරයා වශයෙන් සිටි හිටපු අමාත්‍ය රවි කරුණානායක යන අය මෙරට මුදල් අමාත්‍යවරයාව සිටිමින් සිය අමාත්‍ය බලතල උපයෝගි කරගනමින් මෙම රුපියල් කෝටි 1,000ක මුදල මුදල් අමාත්‍යාංශයෙන් පියවා, රජයට වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා විසිනි.
නිමන්ති රණසිංහ