ranil-basil-meeting

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනගන වැඩපිළිවෙළ සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය ලෙස පොදු ජන පෙරමුණ මෙතෙක්  ලබාදුන් සහාය අඛණ්ඩව ඉදිරියට ද ලබා දෙන බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අවධාරණය කර ඇත.

  ජනාධිපතිවරයා සමග ආණ්ඩු පාර්ශ්වයේ පක්ෂ නායකයන් ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවේදී බැසිල් රජපක්ෂ මහතා මේ බව පවසා තිබේ.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ආණ්ඩු පාර්ශ්වයේ පක්ෂ නියෝජනය කරමින්, අග්‍රාමාත්‍ය දිනේෂ ගුණවර්ධන, පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි වූහ. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, තම පක්ෂයට අයත් ඇතැම් වෘත්තීය සමිති සහ සමහර ප්‍රාදේශීය දේශපාලනඥයන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධව යම් විරෝධාකල්පයක සිට අදහස් දක්වන නමුත්,

එම ගැටලු   කිසිවක් රට විරෝධාකල්පයක සඳහා සහාය නොවන බවය.

එම ගැටලු මෙන්ම එක්ව කටයුතු කිරිමේදී මතු වන ඕනෑම ගැටලුවක් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට හැකියාව ඇති බවත්, ඒ සඳහා මාසයකට දවසක් හෝ ජනාධිපතිවරයා සමග මුහුණට මුහුණ හමු වී සිදු කරන සාකච්ඡා වැදගත් වන බවත් බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. එසේම, තමන් ද ඇතුළු  පොදු ජන පෙරමුණ පක්ෂය මෑත ඉතිහාසයේ  ජනාධිපතිවරුන් කිහිපදෙනකු සමග කටයුතු කර ඇති බවත්, එම අත්දැකීමට අනුව මෙතෙක් කිසිදු  ජනාධිපතිවරයකුට නොතිබූ ආකාරයේ සංවිධානාත්මක සහ ක්‍රියාශීලි කාර්ය මණ්ඩලයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතුව ඇති බවත් බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ. එහිදී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ගේ රාජකාරි ස්වභාවය අගයන බව සඳහන් කළ බැසිල් රාජපක්ෂ මහතා, වැඩිදුරටත් මෙසේ ද සඳහන් කර තිබේ.

“ඇත්තටම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමග වැඩ කිරීම ඉතාම පහසුයි. ඔවුන් ඕනෑම අවස්ථාවක සාකච්ඡාව සඳහා ඇහුම්කන් දීම සඳහා සූදානමින් සිටිනවා. බොහෝ අයට මේ තනතුරු ලැබුණාම ඔවුන්ට දුරකතන ඇමතුමක්වත් ලබා දෙන්න අවස්ථාවක් නෑ. ඒත් මේ දෙදෙනාම ඒ දුර්වලතාවයෙන් පෙළෙන්නේ නැ.

ඔවුන්ට ඒ ගැන ඇගයීම දෙන්න ඕනෑ. ඒ වගේම ඒ වැදගත් ඉදිරියටත් පවත්වාගන්න ලක්ෂණය කියලා අපි ඉල්ලා සිටිනවා. හැබැයි අපේ අගමැතිතුමා නම් ටිකක් කාර්ය බහුලයි වගේ. දුරකතනයට සම්බන්ධ කරගන්නත් අමාරුයි. හැබැයි ජනාධිපතිතුමා එහෙම නෑ. ජනාධිපතිතුමා කොච්චර කාර්ය බහුල වුණත්, ඇමතුමක් ගත්ත මොහොතේම ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ වගේ දෙයක් ජනාධිපති ලෙස සිදු කිරීම ගැන විශේෂ ප්‍රශංසාවක් හිමි වෙන්න ඕනෑ කාරණයක්.

ඒ කොහොම වුණත් අපි පක්ෂයක් විදිහට ජනාධිපතිවරයා රට ගොඩනැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙළට මේ ලබා දුන්නා වගේම කිසිම අඩුවක් නැතිව ඉදිරියටත් සහාය ලබා දෙනවා. පොදු ජන පෙරමුණට සම්බන්ධ අනෙක් පක්ෂත් ඊට එකඟයි. මාසයකට වතාවක් හෝ එකට එකතුව මේ විදිහට සාකච්ඡා කරන්න පුළුවන් නම්, අපේ සමහර වෘත්තීය සමිති, ප්‍රාදේශීය දේශපාලන නායකයන් දක්වන සමහර විරෝධතා විසඳා ගන්න පුළුවන්. ඒ වගේම මේ කරගෙන යන කටයුතු සඳහා අපට ඇති යෝජනා, අදහස් ඉදිරිපත් කරන්නත් පුළුවන්.”

මෙහිදී අදහස් දැක්වූ පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ  සාගර කාරියවසම් මහතා පවසා ඇත්තේ, ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය දීමට පක්ෂයක් ලෙස ගනු ලැබූ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවය. මෙතෙක් ඒ සඳහා ලබාදුන් සහාය ඉදිරියට ද අඛණ්ඩව ලබාදෙන බවත් කාරියවසම් මහතා සඳහන් කර ඇත.

 අංජුල මහික වීරරත්න