
මිනීමැරුමක් හා මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකාරියක අත්අඩංගුවට ගැනීම සඳහා ඇයගේ නිවසට ගිය අවස්ථාවේ එහි සිටි ඌව පළාතේ උසස් පොලිස් නිලධාරියකු සහ තවත් තිදෙනකු අත්අඩංගුවට නොගෙන සැකකාරිය පමණක් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලබා දී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
හම්බන්තොට, බූන්දල ප්‍රදේශයේදී මාර්තු 27 වැනිදා ගෙල කපා දමා පුද්ගලයකු ඝාතනය කර තිබූ අතර, එම ඝාතනයට සැකපිට තණමල්විල ප්‍රදේශයේ කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් ඉකුත් 15 වැනිදා ඇයගේ නිවසට ගොස් තිබේ. එම අවස්ථාවේ අදාළ නිවසේ ඌව පළාතේ උසස් පොලිස් නිලධාරියකු සහ තවත් තිදෙනකු සිට ඇතැයි පැවසේ.
එනමුත්, එම නිලධාරින් විසින් අදාළ උසස් පොලිස් නිලධාරියා අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් වහාම
ක්‍රියාත්මක වන පරිදි එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියට අනුයුක්තව ගාල්ල අපරාධ කොට්ඨාසය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර ඇතැයි තංගල්ල හා මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න පැවසීය. කෙසේවුවද, වැටලීමට ගිය නිලධාරින් අදාළ උසස් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් ප්‍රදේශයේ උසස් නිලධාරින් දැනුවත් කර ඇතැයි ද පැවසේ.
අනීෂා මානගේ
Comments
Post a Comment
Your comment will be visible after approval